Posted by: lrrp | July 13, 2014

බෝතල් – පොල්කටු විකුණා හදාගත්ත ඉස්‌කෝලේ

schoolකලක්‌ පොල් අතු සෙවිලිකළ වහල අතරින් රූරා වැටෙන දුප්පත්කමේ වැහිපොදට උණ හෙම්බිරිස්‌සාව වැළඳුන දරු පැටවුන් බොහෝමයක්‌ මේ කියන්නට යන පාසලේ විය. පිළියමක්‌ නැතිව කාලයක්‌ ගතවිය. විදුහලට අලුත් ශාලාවක උවමනාව තදින් දැනෙන්නට විය. දරුවන්ට අකුරු කිරීමට සිදුවුණේ දුක්‌ කන්දරා ගොඩක්‌ මැදය. ගුරුගෝල දෙපක්‍ෂයේම හීනයක්‌ වී තිබුණේ විදුහල්බිමේ අලුතින් ඉදිවන ගොඩනැඟිල්ලක්‌ පිළිබඳවය.

2011 වසරේ ඇසළ සඳ පිපෙන මාසය උදාවිය. දිනය ජුලි මස 18 වැනි දිනය. මෙතැන් සිට කථාව මුල පටන් කිව යුතුය.

බප/ මතුගම අධ්‍යාපන කලාපයට අයත් පැලවත්ත මහ විදුහල පිහිටා ඇත්තේ හරි අපූරු තැනකය. පැලවත්ත නගරය ගත්තොත් පාසල පිහිටා ඇත්තේ ඊට සැතපුමකට පමණ ආසන්න දුරින්ය. එක්‌ පසෙක නෙක තුරුවදුළු දරාගත් ගං දැලය. අනෙක්‌ පස ගමට බත සරිකරන වෙල්යායක්‌ය. ඒ මැදින් වැටී ඇති පටු පාර විදුහලට යන මහ කියා දෙන්නේය.

පසුගිය දිනක ඇදහැළුන නපුරු වැහිදිය ගංවතුරක්‌ව පැලවත්තේ සියලු සේසත උදුරා බෙන්තර ගඟ දිගේ රැගෙන ගොස්‌ මහ මුහුදට දැම්මේය. දැන් මේ කියන්නට යන විදුහල පිහිටි පැලවත්තේ මිනිසුන්ට උරුමව ඇත්තේ ඇඳිවත පමණි. එය වෙනම කතාවකි. ඊට පෙර පැලවත්තේ බොහෝ දෙනක්‌ තේ, රබර් ටිකක්‌, වී ගොවිතැනක්‌ කොට ජීවිතය දිනාගත් මිනිසුන් විය. ඔවුන් බොහෝ දෙනෙකුගේ දරු පැටව් අකුරු කරන්නේද මේ කියන්නට යන කථාවේ එන පැලවත්ත මහ විදුහලේය.

මෙතැන් සිට කථාවේ පරිච්ඡේද කීපයක්‌ මේ කථාව කියන්නේ පැලවත්ත මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාය. තරමක්‌ වෙනස්‌ ආකාරයෙන් සිතන එවැනි සිතුවිලිවලට පණ දෙන ඔහු ඡේ. ඒ. සමන් ප්‍රියන්ත නම් විය.

“විදුහලට අලුත් ගොඩනැඟිල්ලක අවශ්‍යතාව කාලයක පටන් තිබුණ. ඒකට පිළියම් ලෙස පොල්අතු සෙවිලි කළ තාවකාලික ශාලා ඉදිකළත් ඒව ටික දවසයි. එහෙම් වටපිටාවක තමයි “අපි ගොඩනැඟිල්ලක්‌ හදමු” කියන යෝජනාව විදුහල තුළින්ම මතුවෙන්න ගත්තේ. අපේ විදුහල දුප්පත්, විදුහලේ අකුරු කරන දුවා දරුවන්ගේ දෙමාපියන් දුප්පත්. පොහොසත් දෙයක්‌ කියල තිබුණේ දරු පැටවුන්ගේ උත්සාහයත් අධිෂ්ඨානයත් විතරයි’ මේ ගොඩනැඟිල්ලේ පාදම වුණේ පොල්කටු සහ බෝතල් කටු.

ඒක තමයි….. අද අර ඇත්තක්‌ වෙලා තියෙන්නේ… ඔහු තුරුවදුළු අතරින් ඉහළට එසවී ඇති දෙමහල් ගොඩනැඟිල්ලක්‌ වෙත අත දිගු කරමින් පවසයි.

එම ගොඩනැඟිල්ලට මුල්ගල තියපු දවස තමයි 2011 ජුලි 18 කියන දවස.

අපි මුලින්ම කළේ සැබෑ කිරීමට නියමිත ‘හීනය’ දරුවන්ගේ හිත්වල ඇඳපු එක. ඉන් පස්‌සෙ තමයි ඒ අයගේ සිතුවිලි වචන බවට පෙරළිල. “අපි…. බෝතල් කටු, පොල් කටු එකතු කරල ඒවා විකුණල ශාලාවක්‌ හදමු” කියන පොදු එකඟතාවට එන්නේ.

පුදුම උපදවන සුළු ඇරඹුම මෙනෙහිකළ විදුහල්පතිවරයා ඒ සඳහා පාසලේ දරු දැරියන් පැතුම් සහගත වීමට හේතුවූ කරුණු කාරණා පිළිබඳව ද කෙටි මතක්‌ කිරීමක්‌ කළේය.

school1මමත්, මගේ ගුරු මණ්‌ඩලයත් දරුවන්ගේ අධ්‍යාපනය අකුරු ඉලක්‌කම්වලට පමණක්‌ සීමා නොකිරීම මේ වගේ ලොකු වැඩකට අතගහන්න දරුවන්ට එක හේතුවක්‌ වුණා. මෙවර 11 වැනි වතාවටත් පවත්වන ලද “නැණසර කලා උළෙල” ඒකට එක හේතුවක්‌. ඒ තුළින් අපිට පුළුවන් වුණා දරුවන්ගේ ජීවිතවලට කැපවීම, උත්සාහය කියන දේ කාන්දු කරන්න. අර… පේන දඬුවැට හැදුවේ දරුවෝ.

විදුහල් භූමියේ තැනක ඉදිවී ඇති ගැමි ගෙයත් එය වටා තනා ඇති දඬුවැටත් පෙන්වමින් විදුහල්පතිවරයා අදහස්‌ දක්‌වන්නට වූ අතර විවිධ ප්‍රමාණයෙන් යුත් ගස්‌ කඳන් සිටුවා ඉදිකොට තිබූ එය අලි මෙල්ල කළ හැකි තරමේ ශක්‌තියකින් යුත් දඬු වැටක්‌ විය.

එහෙම ජවයකින් තමයි විදුහලේ සියලුම දරුවන් එකා වන්ව ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට දායක වුණේ. මුලින්ම කළේ තම තමන්ගේ ගෙවල්වල තිබුණ බිඳුන වීදුරු කෑලි, බොතල්, පොල්කටු ගෙනවිත් පැත්තක ගොඩගහපු එක. ඊට පස්‌සෙ අහල පහල ගෙවල්වල එකතුවන පොල්කටු, වීදුරු කටු ගෙන්න ගත්ත. එහෙම දවසගානෙම ඔය වැඩේ කළා. ඊට පස්‌සෙ එහෙම එකතුවෙන බෝතල් කටු, පොල් කටු සඳහා වෙළඳපලක්‌ හොයාගෙන ඒවා ලොරිවල පටවගෙන අපි කොළඹ ගියා. ඒ ලබාගත්ත මුදල රුපියල් දොලොස්‌දාහයි. ඊට අමතරව පැලවත්තේ නගරයේ තරුණයන් පිරිසක්‌ සංගීත ප්‍රසංගයක්‌ වෙනුවෙන් එකතුකළ රුපියල් හැටදහසක මුදලක්‌ දරුවන්ගේ උත්සාහය දැකල විදුහලට පරිත්‍යාග කළා. ඔය වගේ පුංචි මුදලකින් තමයි 2011 ජුලි මාසේ 18 වැනි දා අපි ගොඩනැඟිල්ලට මුල්ගල තැබුවේ.

එතැන් සිට කොට බිත්තිවලින් වටවූ පටු පංතිකාමර තුළට කොටු නොවුණ පැලවත්ත විදුහලේ දරුවන් තම විදුහල් මෑනියන්ගේ ඇකයේ ඉදිවන ‘අලුත් නිමැවුම’ පිළිබඳ පුවත දෙමාපිය ඥති හිතවතුන් වෙතද රැගෙන යැමටද උත්සුක වී ඇත.

ආදි සිසුන්, ගම්වැසියන් හට එය අසන්නට කැමැත්තෙන් සිටි පුවතක්‌ විය. එතැන් සිට ගල්, ගඩොල්, වැලි, සිමෙන්ති සමඟින් ඔවුන්ගේ දහදිය මහන්සියද ගොඩනැඟිල්ල ඉදිවීම වෙනුවෙන් එකතු විය.

‘අපි මුලින්ම සැලසුම් කළේ තනි මහලේ ශාලාවක්‌ මුල්ගල තියපු දවසේ ඇවිත් හිටිය ආදි ශිෂ්‍යයන්, දෙමාපියන්, දරුවන්ගේ උත්සාහය ගැන දැකල ඒ පිළිබඳ සතුටට පත්වෙලා ඒ අයම යෝජනා කළා “අපි මේක දෙමහල් ශාලාවක්‌ ලෙස වැඩ නිමකරමු කියා”.

පොඩි උන්ගේ සිහිනයට තව තට්‌ටුවක්‌ එකතු කළ ආදි සිසුන් දෙමාපියන් එතැන් සිට හැකි අයුරින් ඔවුන්ගේ ශක්‌තියද දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් වියපැහැදම් කළෝය.

එතැන් සිට වැලි, ගල්, ගඩොල් සිමෙන්ති සමඟ කලවම්ම ගලින්ගල ඉහළ නැගෙන්නට විය. විදුහලේ සිසු සිසුවියන්ගේ සිත්ද සතුටින්ය. ඉහේ මල් පිපුනා වැනිය. පැතුම් සහගත ඔවුන් අභියෝග ඉදිරියේ තව තවත් කැපවීම් කළේය. පිරිසක්‌ බෝතල් කටු, පොල්කටු එකතු කරමින්ය, තව පිරිසක්‌ ඉදිවෙමින් පවතින ශාලා භූමියේ කුමන හෝ කටයුත්තකය, මේ සියලු දේ අතර අකුරු මගනොහැරීමටද ඔවුන් ප්‍රවේශම් විය. ඒ සඳහා විදුහල තුළ ක්‍රියාත්මක වන කාල කළමනාකරණයද බෙහෙවින් ප්‍රයෝජනවත්ව ඇත.

ඔහොම අවුරුද්දක්‌ ඇතුළත පළමු මහලේ වැඩ නිමකරන්න අපට පුළුවන් වුණා. පුංචි දානමය පුණ්‍යකර්මයක්‌ කරල ඒ පංතිකාමර ඇතුළේ දරුවන්ට අධ්‍යාපනය හදාරන්න ඉඩකඩ හදල තමයි දෙවැනි මහලේ වැඩ සම්පූර්ණ කරන්න ගත්තේ.

මේක මතක්‌ කළයුතු කරුණක්‌. මේ වගේ විශාල වැඩක්‌ සඳහා ස්‌වොත්සාහයෙන් අපි එකමුතු වුණේ යමක්‌ අප වෙත පැමිණෙනතුරු නොසිට එය සොයා යායුතුයි කියන දෙය දරුවන්ට කියා දෙන්න. පස්‌සෙ අපේ උත්සාහය දරුවන්ට පමණක්‌ නොවෙයි මුළු රටටම ආදර්ශයක්‌ වුණා. ඒකට ඕන තරම් උදාහරණ තියෙනව. අපේ ආදි ශිෂ්‍යයෙක්‌ වන රජිත සම්පත් ඇතුළු තරුණ පිරිස මේ සඳහා දැක්‌වූ කැපකිරීම ප්‍රශංසනීයයි. තව මාසයක්‌ දෙකක්‌ යද්දි දෙවැනි මහලෙත් වැඩ නිමවෙනව. ඔවුන් තවමත් අපිත් සමඟ අත්වැල් බැඳගෙන අපිට ශක්‌තිය සපයනව. ඒ වගේ තමයි ගුරු මණ්‌ඩලය. ඔවුන් මේ සඳහා විශාල මගපෙන්වීමක්‌ කරනව. ඒ සියලු දේ තුළින් තමයි. රුපියල් ලක්‍ෂ හැටකට වඩා වැඩි වියදමකින් අඩි 20 Ü 40 ක ශාලාවක්‌ ඉදිවුණේ… විදුහල්පතිවරයා මුල මැද අග ගලපමින් දුප්පත් පාසලක්‌ “අපූරු ඉස්‌කෝලයක්‌” බවට පත්කළ කතාවේ විස්‌තරය නිමා කරමින් කියා සිටියේය.

පැතුම් සහගත මිනිසුන් පරාජය කළ නොහැකි බව සඳහන් කියමනක්‌ අසා ඇත, එය පැලවත්ත විදුහල් බිමේදී සැබෑවක්‌ බවට පත්ව ඇති අයුරුද දුටුවේය.

එබිම තුළ කුසීතව නොසිට නැගීසිටි සිසුන් පිරිසත්, ආචාර්ය මණ්‌ඩලයත්, දෙමාපිය ආදි සිසුන් පිරිසත් “අනාගතයක්‌” ගොඩනගන අයුරුද දුටුවේය. පුදුමය වන්නේ ඔවුන් තුළ වූ උත්සාහයට එකෙකු පරයා අනිකෙකු සිදු කරන කැපවීමට සීමා මායිම් නොමැතිවීමය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: