Posted by: lrrp | July 6, 2014

ගුරුවරු 80ක් නොමිලේ උගන්වන ඌවපරණගම “රෑ ඉස්කෝලේ”

සියලු ජාති ආගම්වල 300ක් දෙනා ඉගෙනගනී

දැනුමේ හා ඥානයේ කෝෂ්ඨාගාරය පන්සලයි. අතීත ලක්වැසියා අධ්‍යාපනය ද බුද්ධි වර්ධනය ද ආධ්‍යාත්මික සුවය ද සොයා පන්සල වෙත ඇදී ගියේය. ලංකාව යටත් විජිත කරණයට හසු වූ පසු ඒ අධ්‍යාපන ක්‍රමය ද ඥාන ගබඩාව ද විනාශව ගියේය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ද අධ්‍යාපන රටාව ද වෙනස්විය. පාසල් අධ්‍යාපන ක්‍රමය ව්‍යාප්ත වීමත් සමඟ අතීතයේ සිට පැවැත ආවා වූ පන්සල කේන්ද්‍ර කරගත් ග්‍රාමීය දේශීය අධ්‍යාපන රටාව බිඳ වැටිණ.

නිදහස් අධ්‍යාපන ක්‍රමයක් මෙරට ක්‍රියාත්මක වුව ද විවිධ‍ හේතුන් මත සිය අධ්‍යාපන කටයුතු අතරමඟ අතහැර දැමීමට කටයුතු කරන පිරිස් ද අප අතර ‍බොහෝ වෙති.

මෙවන් තත්ත්වයක් යටතේ බෞද්ධ හින්දු මුස්ලිම් හා කතෝලික යන සෑම ආගමකටම අයත් සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා ගුරුවර ගුරුවරියන් 80ක් පමණ නොමිලේ ඉගැන්වීම් කරනු ලබන රාත්‍රි නිදහස් පාසලක් ඌවපරණගම කොටවෙර උඩගම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යයි. එහි නම උඩගම ශ්‍රී ගුණානුස්මරණ රාත්‍රි පාසලයි.

මෙහි දැනටමත් සිසු සිසුවියන් 300ක් පමණ අධ්‍යාපනය ලබන අතර 2002 සිට මේ දක්වා මේ පාසලෙන් ඉගෙනගත් සරසවි අධ්‍යාපනය ලැබීමට සුදුසුකම්ලත් පිරිස 150ක් පමණ බව එම රාත්‍රි පාසලේ විදුහල්පති කොටවෙර කාශ්‍යප හිමියෝ පවසති.

තම අභිලාෂයන් ඉටු කර ගැනීමෙහි අරමුණින් යුතුව දරුවෝ පාසල් අධ්‍යාපනයට අමතරව බාහිර පන්ති කරා සහභාගී වෙමින් දැනුම රැස් කර ගනු ලබති. දක්ෂතා ඇති දරුවන් වුවද ‘මුදල්’ පාදක වූ බාහිර පන්ති කරා යොමු වීමට නොහැකි වූ කල පසුබා සිටී. එවන් දරුවන් කොතරම් ඉගෙනීමෙහි දස්කම් දැක්වුවද බොහෝවිට අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමට නොහැකිව මහා සමාජයේ අතරමංවේ.

එසේ අතරමං වීමට ගිය තරුණයන් තිදෙ‍නෙකු විහාරස්ථානයට කැඳවා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සූදානම් කොට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ඉඩ සලසා දීමට කොටවෙර කාශ්‍යප හිමියෝ සමත් වූහ. තම විහාරයේ වැඩවසන භික්ෂූන් වහන්සේ ගේ කැපවීම දක්ෂතාව හා යහ ආකල්ප නිවැරැදිව හඳුනාගත් උඩගම කොටවෙර ගම්වැසි දිළිඳු ජනයා තම දරුවන්ට ද කාශ්‍යප හිමියන් ගේ සේවය අයැද සිටියහ.

“භික්ෂුවක් ලෙස එම ඉල්ලීම ඉවත දමන්න මට බැරි වුණා. භික්ෂුවක් ලෙස මා ජීවත් කරවීම සඳහා දානය ඇතුළු සියලු අවශ්‍යතා සපුරාලන්නේ දුප්පත් දායක කාරකාදීන් විසිනුයි. ඔවුන්ට පෙරළා උපකාර කිරීමට ඇති මහඟු අවස්ථාවක් බව මට වැටහී ගියා. ඉතින් මම එම ඉල්ලීම පිළිගෙන ගම්වැසි දිළිඳු දරුවන්ට සවස් යාමයේ අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළා” යැයි කොටවෙර ශ්‍රී සුභද්‍රාරාම විහාරවාසී කොටවෙර කාශ්‍යප හිමියන් පැවැසූහ.

මේ පාසල ආරම්භයට හේතු වුණේ උසස් පෙළ විභාගය සඳහා ඉදිරි අධ්‍යාපන කටයුතු කරගැනීමට නොහැකිව කඩයක් ඉදිරියේ බංකුවක් මත වාඩිවී කතාබහ කරමින් සිටි තරුණයන් තිදෙනෙක්. ඔවුන් නිකරුණේ කාලය ගතකරන්නේ මන්දැයි විමසීමට සිත් දුන් හේතුවෙන් මේ පාසල බිහිවූ බව කාශ්‍යප හිමියෝ පැවැසූහ.

දෙවන කණ්ඩායම ලෙස අ‍.පො.ස. උසස් පෙළ විභාගය සඳහා දරුවන් එකොළොස් දෙනෙකු සූදානම් කළ බවත් ඒ සිසු සිසුවියන්ට ඉගැන්වීම සඳහා කලින් ‍තමන්ගෙන් ඉගෙන විශ්වවිද්‍යාලයට තේරී පත්වූ දරුවන් තිදෙනා ද උපකාර කළ බවත් පැවසූහ. ඉන් සිසුන් නවදෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබද්දී දෙදෙනකු බාහිර උපාධිය සඳහා යොමුවිය.

විහාරස්ථානය කේන්ද්‍ර ‍කොටගෙන පවත්වාගෙන යනු ලබන මෙම රාත්‍රි පාසලේ ඉගැන්වීම් කටයුතු කරන ගුරු භවතුන් නොමිලයේ අධ්‍යාපනය ලබා දෙයි. නොමිලයේ පවත්වාගෙන යනු ලබන මේ රාත්‍රි පාසල තුළ ඉගෙනීමේ අවස්ථාව සැලසී ඇත්තේ ආර්ථික අපහසුතා ඇති දරුවන්ට පමණි.

ආර්ථික අපහසුතා හේතුවෙන් පුද්ගලික පන්ති සඳහා සහභාගි විය නොහැකි දක්ෂ දරුවන්ගේ විෂය දැනුම පුළුල් කර ගුණගරුක පුරවැසි පරපුරක් බිහිකිරීම රාත්‍රි පාසල පවත්වානෙ යාමේ අරමුණ වී ඇත.

ඕනෑම ආගමක ඉරිදා දහම් පාසල් සඳහා සහභාගී වන දරුවන්ට ද මෙම රාත්‍රි පාසල විවෘතය. 2002 වසරේ දී දරුවන් තිදෙනෙකුගෙන් ආරම්භ කළ මෙම පාසල තුළ වර්තමානයේ දරුවෝ 300 පමණ ඉගෙනුම ලබති.

ඌවපරණගම කොටවෙර උඩගම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ පවත්වා ගෙන යනු ලබන මෙම පාසලේ ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් මවුපියන් හට කිසිදු මුදලක් වැය කිරීම සිදු නොවේ. ඉගෙනුම් කටයුත්තේ දී අවශ්‍ය කරන අධ්‍යාපන උපකරණ නිබන්ධන, ප්‍රශ්න පත්‍ර ආදී සියලු දේ රාත්‍රි පාසලේ දී දරුවන් වෙනුවෙන් සැපැයේ.

රාත්‍රි පාසලට පැමිණෙන දරුවන් වෙනුවෙන් මවුපියන් කළ යුත්තේ කලට වේලාවට ඔවුන්ව පාසල වෙත එවීම සහ පාසල නිමවූ පසු තම දරුවා බාරගැනීමට නියමිත වේලාවට පැමිණීම පමණි.

සවස හයට ආරම්භ වන රාත්‍රි පාසල රාත්‍රි නවය දක්වා පැවැත්වේ. පන්සලේ පැවැත්වෙන රාත්‍රි පාසල කරා සිසු සිසුවියෝ දෙපිරිසම සහභාගි වෙති. සවස හයට ආරම්භ වන පාසලට සහභාගී වීම සඳහා සිසුන් සවස පහේ කනිසමට පන්සල වෙත යා යුතුය. පැමිණෙන සිසුන් පාවහන් එක් පෙළකට තැබිය යුතු වේ.

අනතුරුව බෝධීන් වහන්සේ වෙත ගොස් ගුරු සිසු දෙපිරිස ම පන්සිල් සමාදන්ව ආගමික වතාවත් වල නියැළේ. වෙනත් ආගමික දරුවෝ තම තමන්ගේ ආගමානුකූල වත්පිළිවෙත්හි නිරත වෙති. ආගමික වත්පිළිවෙත්වලින් අනතුරුව “ගුණගරුක පුරවැසියකු සේ සමාජයට සේවය කිරීමට හැකිවේවා” සියලු දෙනා එක සිතින් අධිෂ්ඨන කරති. අනතුරුව විදුහල්පති ස්වාමීන් වහන්සේ‍ෙග් දෙපා නැමැද ඉගෙනුම් කටයුතු සඳහා යොමුවේ.

උඩගම සුභද්‍රාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන මේ රාත්‍රි පාසලට දැඩි විනය මාලාවක් හඳුන්වා දී තිබේ. ආගමික කටයුතුවලින් අනතුරුව පන්තිවලට සහභාගී වන්නේ සංවර, ශීලවන්ත දරුවන් ය. යහපත් ගුණගරුක යහ ආකල්පයෙන්යුතු පුරවැසියන් බිහිකිරීමට එම හැසිරීම් උපකාරී වෙයි. ඉගෙනුම් කාලය තුළ ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා නිශ්ශබ්දතාවය ආරක්ෂා කළ යුතුය. එය එලෙසම ඉගෙනුම් කාලය තුළ සිදුවේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සඳහා මෙම රාත්‍රි පාසලේ දී දරුවන් සූදානම් කරනු ලබයි. ඊට අමතරව පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ද ළමුන්ට මඟපෙන්වනු ලැබේ.

ඉංග්‍රීසි, පරිගණක, සංගීතය ඇතුළු විෂයන් ද මෙහිදී ඉගැන්වේ. දරුවන් වෙනුවෙන් අගනා පුස්තකාලයක් ද විහාරස්ථානය තුළ ඉදිවී තිබීම ඉතා වැදගත්ය.

පාලක මණ්ඩලයක් මඟින් හසුරුවනු ලබන උඩගම රාත්‍රි පාසලේ ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල අධ්‍යාපනයට, විද්‍යාපීඨ අධ්‍යාපනයට හෝ වෙනත් ඕනෑම ආකාරයකින් උසස් අධ්‍යාපනයට යොමු වන ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් ආයතනය මඟින් ශිෂ්‍යත්ව පිරිනැමේ. ඉතා අසීරුවෙන් කරන ඒ සත්ක්‍රියාව සඳහා ප්‍රදේශවාසීන් සහ දානපතියන් මූල්‍යාධාර සපයයි.

උඩගම රාත්‍රි පාසලේ ගුරුභවතුන් 80ක් ඉගැන්වීමෙහි ‍යෙදේ. ඔවුන් සියලුදෙනාම රාත්‍රි පාසලේ දී ඉගෙනුම ලැබූවන් වීම විශේෂත්වයයි. 2002 වසරේ ඇරඹූ මෙම පාසලේ ඉගැන්වීමෙහි යෙදෙන ගුරුභවතුන්ට සෑම වසරකම ජනවාරි මස දින දාහතරක් පුරා ගුරු පුහුණුවක් ලබා දෙයි. එමඟින් ඔවුන්ගේ දැනුම දියුණු ‍කොට ඉගැන්වීම් කටයුතු සාර්ථක කරවයි. ‍

ඌවපරණගම කොටවෙර ශ්‍රී සුභද්‍රාරාම විහාරවාසී ශ්‍රී සෝමරතන ගුණානුස්මරණ ශිෂ්‍යාධාර සේවයේ විදුහල්පති ලෙස සේවය කරන කොටවෙර කාශ්‍යප හිමියන් පවසන්නේ තමන්ගේ අදහස හා අභිප්‍රාය සාර්ථක කරගනිමින් මෙම රාත්‍රි පාසල සාර්ථකව පවත්වාගෙන යාමට විහාරාධිපති බුත්තල බුද්ධානන්ද හිමියන් ඇතුළු අවට විහාරයන්හි වැඩවසන භික්ෂූන් වහන්සේ අනඟි සහයක් ලබා දෙන බවයි.

අවට ප්‍රදේශවාසී ජනයාගෙන් ලැබෙන නොමසුරු සහය අගය කරන කාශ්‍යප හිමියෝ ඔබට ද මෙම රාත්‍රි පාසලට ආධාර උපකාර කිරීමට හැකියාව ඇති බව දන්වා සිටී. රාත්‍රි පාසලේ ඉගෙනගන්නා දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් හා ශිෂ්‍යත්ව ලාභීන්ගේ අවශ්‍යා සඳහා උපකාර කිරීමට ඔබ කැමැති නම් වැලිමඩ සම්පත් බැංකු ශාඛාවේ ගිණුම් අංක 108160377595 දරන සෝමරතන ගුණානුස්මරණ ශිෂ්‍ය ආධාර ගිණුමට ආධාර යොමු කළ හැකිය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: