Posted by: lrrp | September 1, 2013

හෙට රට – එදා ගත්තේ අවි අද ගන්නේ උදලු

වවුනියාවත් අද පෝසත්

මීට වසර 10 – 11කට පෙර මේ පැත්තේ දෙමළ තරුණ තරුණියෝ අත තිබුණේ දිලිසෙන යුද අවි ය. මේ පැත්තේ වැඩියෙන් තිබුණේ ඔවුන් රැගත් ට්‍රැක්ටරය. ඒ සමඟම මේ පැත්තේ නිතර එහා මෙහා ගියේ යුද හමුදාවේ අවි දැරූ සෙබළුන් රැගත් යුද ටැංකිය ටිපර් රථය, ජිප් රථය. ඒ සෙබළු අත්වල දී දිලිසෙන අවිය.

නමුත් අද ඒ තත්ත්වය එහෙම පිටින් ම වෙනස් වී ඇත. රජය යුද්ධය ජය ගැනීමත් සමඟ මේ පෙදෙස සංවර්ධනය කරා ගමන් කිරීමත් සමඟ ඒ වෙනස ඇතිවිය. අද එදා අවි දැරූ දෙමළ තරුණ තරුණියෝ කැත්ත උදැල්ල අරගෙන ගොවිතැන් කරති.

එදා ගිය යුද හමුදා සෙබළු රැගත් වාහන වෙනුවට අද මෙහි වැඩිපුර යන්නේ රට සංවර්ධනය කරන බුල්ඩෝසර්, කැටපිලර් වැනි වාහනය, පස් රැගත් ගොඩනැඟිලි ද්‍රව්‍ය රැගත් හා කෘෂි අස්වැන්න රැගත් ට්‍රක් රථය, එදා අවි දැරූ සෙබළු ද සිවිල් ආරක්ෂකයෝ ද අද මේ පෙදෙස එකම කෙත් යායක් බවට පත් කර තිබේ.

මේ අප කථා කරන්නේ උතුරු පළාතේ සිංහල ජනතාව වැඩියෙන් ම සිටින වවුනියාව දිස්ත්‍රික්කය පිළිබඳව ය. සරලව කීවොත් අද වවුනියාව ඉතා පෝසත් ය. වවුනියාවේ ඒක පුද්ගල ආදායම පසුගිය වසර දෙක තුනේ දී කවදාවත් නැති තරමට ඉහළ ගොස් ඇත.

රටටම ‍අවශ්‍ය උදු අද ලබාදෙන්නේ වවුනියාවෙනි. ඒ අනුව අපි අද උදුවලින් ස්වයංපෝෂිතය. දුම්කොළ, බඩඉරිඟු අස්වැන්න වවුනියාවේ වාර්තාගත අන්දමට ඉහළ ගොස් තිබේ. උතුරේ සංවර්ධන ක්‍රියාදාමයට උරදී සිටින රජය මේ වනවිට වවුනියාව ඇතුළු උතුරු ප්‍රදේශය දැවැන්ත ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇති අතර ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සාර්ථකව නිම කරනු ලැබ තිබේ.

එම ව්‍යාපෘති අතර ප්‍රධාන තැනක මහාමාර්ග සංවර්ධනය, දුම්රිය මාර්ග ඉදිකිරීම වැව් හා ඇළ මාර්ග සංවර්ධනය, විදුලිබලය හා පානීය ජලය සැපයීම, අධ්‍යාපන හා සෞඛ්‍ය කටයුතු නඟා සිටුවීම කෙරෙහි යොමුව තිබේ.

ඊට අමතරව කෘෂි හා ධීවර කර්මාන්ත නඟා සිටුවීම, නිවාස තනාදීම, නැවත පදිංචිය, ඇඟළුම් කම්හල් ජනතා අයිතියට පත් කිරීම මෙන් ම රැකියා අවස්ථා ලබා දීම ද ප්‍රමුඛව සිදුව තිබේ.

උතුරු දුම්රිය මාර්ගය වවුනියාව ඕමන්ත දුම්රිය ස්ථානයේ සිට යාපනය දක්වා ඉදිකිරීම් කටයුතු 50% කින් පමණ නිම කිරීමට හැකිව තිබීම මෙන් ම මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම සිදුවන අතර මඩු දුම්රිය ස්ථානය දක්වා ඉදිකිරීම නිමකර ජනතා අයිතියට පත්කිරීමට රජය සමත්කම් දක්වා ඇත. මෙම ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියා රජය ශ්‍රී ලංකා රජයට සහය දක්වයි.

පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීම

ඒ 9 මාර්ගය වවුනියාවෙන් යාපනය දෙසට සම්පූර්ණයෙන් ම කාපට් අතුරා ජනතා අයිතියට පත් කළේ ද තවත් ජනතා පැතුමක් මල් ඵල ගන්වමිනි. ඊට අමතරව ප්‍රධාන පෙළේ මාර්ග ලෙස සැලකෙන වවුනියාව – හොරොව්පොතාන මාර්ගය, වවුනියාව – මන්නාරම මාර්ගය, මැදවච්චිය – මන්නාරම මාර්ගය සංවර්ධනය කළ රජය වවුනියාව නගරයේ සියලුම අභ්‍යන්තර මාර්ග කාපට් ඇතිරීම ද නිම කොට තිබේ. මීට අමතරව ග්‍රාමීය මාර්ග 75% ක් පමණ සංවර්ධනය කිරීම ද නිම කර තිබීම ජයග්‍රාහී ගමනේ පෙ‍ර නිමිත්තකි.

අධ්‍යාපන ක්‍රියාදාමය තුළින් අතිවිශාල ප්‍රගතියක් අත් කරගෙන ඇති උතුරු ප්‍රදේශයේ එම කටයුතු නඟා සිටුවීම සඳහා මධ්‍යම රජය මෙන් ම පළාත් සභාව ද සුවිශේෂ මැදිහත්වීමක් සිදුකර ඇත. ගෙවී ගිය වසර 04 තුළ උතුරේ පාසල් ගොඩනැගිලි 695 ක් ප්‍රතිසංස්කරණය කොට ඇති අතර මහින්දෝදය විද්‍යාගාර 28 ක වැඩ නිමකොට තවත් 33 ක් ඉදිකිරීම සඳහා මුල පුරා තිබේ.

නිවාස තනා දීම සඳහා උතුරේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක අතර ඉන් මුල් තැනක් ඉන්දියානු නිවාස ව්‍යාපෘති සඳහා හිමිවෙයි. එහි මුල් අදියර යටතේ උතුරේ නිවාස 50,000 ක් ඉදිකර ජනතා අයිතියට පත්වූ අතර වවුනියාව දිස්ත්‍රිකයේ ඒ යටතේ නිවාස 200 ක් ඉදිකරනු ලැබිණි.

මේ වනවිට එහි දෙවන අදියර ක්‍රියාත්මක අතර එමගින් තවත් නිවාස ඉදිවෙමින් පවතී. තුන් වන අදියර යටතේ ද නිවාස ලාභීන් තෝරා ගැනීම සිදුවෙමින් පවතී. ඒ.එස්.බී. (ASB) නිවාස ව්‍යාපෘතිය මගින් ද නැවත පදිංචි කළ වැසියන් සඳහා ස්ථිර නිවාස ඉදිකර දීම සිදුවිය.

ධීවර කර්මාන්තය ගැන කතා කිරීමේදී මිරිදිය ධීවර කර්මාන්තය අතින් වවුනියාවට හිමිවන්නේ සුවිශේෂ තැනකි. මෙවර වවුනියාවේ මත්ස්‍ය ආදායම තුළ විශාල වර්ධනයක් දක්නට ලැබෙන අතර වවුනියාව ජල ජීවී ව්‍යාපෘති කාර්යාලය පවසන්නේ මෙම වසරේ ගෙවී ගිය මාස 07 තුළ මත්ස්‍ය අස්වැන්න කිලෝ ග්‍රෑම් 1, 10,000 ඉක්මවූ බවයි. රජය මිරිදිය ධීවර කටයුතු සඳහා එම මාස 07 තුළ මන්නාරමට සහ වවුනියාවට රුපියල් බිලියන 06 ක් ලබාදී ඇති අතර ඉදිරියේදී තවත් බිලියන 07 ක වියදමින් මත්ස්‍ය වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සැලසුම් කර තිබේ.

“ලොකු කුඩා වැව් හා ඇළ මාර්ග විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීම සහ වල් බිහිවී තිබූ වගා බිම් රැසක් එළිපෙහෙළි කොට වගාව සඳහා යෙදවීම තුළින් උතුරේ වී අස්වැන්න, ආදායම, නිෂ්පාදනය වැඩි වූ අතර මෙම වසරේ මහ සහ යළ යන කන්න දෙකම වගා කිරීමට හැකිවීම ද වී නිෂ්පාදනය වැඩි වීමට හේතු විය.

වවුනියාව යනු උතුර, දකුණ මෙන් ම නැ‍ඟෙනහිර බටහිර යා කරන නගරයකි. මේ වනවිට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නිමවීමත් සමඟ එම නගරය පමණක් නොව අවට ගම්මාන ද එකසේ නැඟී සිටිනු ඇත. විශේෂයෙන් කෘෂි කාර්මික, ධීවර සහ වානිජ යන අංශවලින් උතුරේ ප්‍රධාන නගරයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර අතරින් ද සුවිශේෂ ස්ථානයකට පැමිණීමට මෙන් ම දියුණුවේ ඉහළට එසවුණු දිස්ත්‍රික්කයක් වීමට වවුනියාවට හැකිවනු ඇත. ගෙවී ගිය වසර 04 සහ ඉදිරි ආසන්න වසර කිහිපය උතුර සංවර්ධනයෙන් රටට ප්‍රතිලාභ අත්වන වකවානුවක් වන බව නොරහසකි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: