Posted by: lrrp | September 1, 2013

ලොව ලොකුම මැස්ම අරපිරිමැස්ම අදට කොච්චර වටිනවා ද ?

කුඹුරු ගොවිතැන් කිරීමෙන් ඉදිරි කාලය සඳහා වී හාල් සෑහෙන්න අටුවේ එක්රැස් කර තබාගැනීමත් දක්නට ලැබුණා. බොහෝ විට වී හාල් පමණක් නොවෙයි කොස් ගසෙන් වැටෙන වැල වරකාවල කොස් ඇට වැලි කොස්ඇට වශයෙන් සකස් වී අවාරයේ දී ප්‍රයෝජනයට ගැනීමට තිබුණා. බත් ඉවීමට සහල් ගන්නා විට ඉන් මිටක් වෙනත් මුට්ටියකට දැමීමෙන් මිටි හාල් මුට්ටියක් වෙනමම ඉතිරි වී තිබුණා. සහල් නැති විටෙක මිටි හාල් මුට්ටිය ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව තිබුණා.
එදා අපේ ගැමි සමාජය තුළ අනාගතය වෙනුවෙන් ද්‍රව්‍යමය වශයෙන් දකින්නට ලැබුණ ඉතිරි කිරීම එයයි.

“ලොව තිබෙන ලොකුම මැස්ම මොකක්ද?” මේ පාසලේ දී ළමයි කවටකමටත් වඩා දැනුම උරගා බලන්නට අසන පැනයකි. අපි දහඅතේ කල්පනා කරමු.

“අරපිරිමැස්ම”

අප අතරින් එකියක කෑගසා පවසන්නීය.

‘අරපිරිමැස්ම’ පුරුදු වෙන්න ඕන ගෑනු ළමයි වුණහම.

අම්මලා කියන්නේ එහෙමයි.

ගැහැනු ළමයෙකුට අරපිරිමැස්ම ඉගෙන ගන්න හොඳම තැන තමයි මුළුතැන්ගෙය. එහෙම කියන අම්මා අපට බොහෝ දේ ක්‍රියාවෙන් පෙන්නලා තිබුණා. ඉස්සර ගෙවල්වල අද වගේ මිරිස් තුනපහ කඩෙන් ගෙනාවේ නැහැ. මිරිස් තුනපහ ගෙදරදීම හදාගත්තා. බොහෝ විට මිරිස් ගලේ එකවර ඇඹරෙන මිරිස්, කහ, තුනපහ ආදිය කල් තබා ගත්තේ ඒ මත ලුණු ඇට ඔබා තිබීමෙන්. මිරිස් අඹරලා ඉවර වුණාට පස්සේ ගල හෝදලා ගන්න මිරිස් වතුර මාළු හොද්දට යොදා ගත්තා. දෙහි වාරෙට දෙහි කල්තබා ගන්න ලුනුදෙහි දැම්මා වගේම දෙහි වැලිවල හංගලත් තිබුණා. හැම ගෙදරකම වගේ වැලිකොස්ඇට මුල්ලක් තිබුණා. අද මෙන් නවීන යන්ත්‍ර සූත්‍ර නොතිබුණු එකල බොහෝ දේ කර ගත්තේ දෑතේ වීරියෙන්. කජු වාරෙට කජු කපලා අහක දමන කජු ලෙල්ල මදුරුවන් එලවන්න දුං ගස්සන්න යොදා ගැනීම කළ අතර මේ වගේ පුංචි පුංචි දේවල් එකල අපේ ගැමි ගෙවල්වල තිබුණා. අද වන විට කාලය වෙනස් වුණත් අරපිරිමැස්මයි, ඉතිරි කිරීමයි, අපතේ නොහැරීමයි අපට ඉවත දමන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.

අතීතය වර්තමානය අනාගතය යා කරමින් කාන්තාවන් කොහොම ද ඉතිරි කරන්නේ පිළිබඳව කතා කරන්නට අද ගෙදරට ගොඩවුණේ මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මියයි.

එදා අපේ රටේ ගැමි සංස්කෘතියක් දකින්නට ලැබුණා. ඒ ගැමි සංස්කෘතිය තුළ අනාගතය ගැන සිතා ජීවිත සකස් කරගැනීමේ පවුල් ක්‍රමයක් මෙන්ම කුඹුරු ගොවිතැන් කිරීමෙන් ඉදිරි කාලය සඳහා වී හාල් සෑහෙන්න අටුවේ එක්රැස් කර තබාගැනීමත් දක්නට ලැබුණා. බොහෝ විට වී හාල් පමණක් නොවෙයි කොස් ගසෙන් වැටෙන වැල වරකාවල කොස් ඇට වැලි කොස්ඇට වශයෙන් සකස් වී අවාරයේ දී ප්‍රයෝජනයට ගැනීමට තිබුණා. බත් ඉවීමට සහල් ගන්නා විට ඉන් මිටක් වෙනත් මුට්ටියකට දැමීමෙන් මිටි හාල් මුට්ටියක් වෙනමම ඉතිරි වී තිබුණා. සහල් නැති විටෙක මිටි හාල් මුට්ටිය ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව තිබුණා. මේක තමයි එදා අපේ ගැමි සමාජය තුළ අනාගතය වෙනුවෙන් ද්‍රව්‍යමය වශයෙන් දකින්නට ලැබුණ ඉතිරි කිරීම.

බුද්ධ දේශනයෙත් සඳහන් වෙනවා තමන් උපයන ධනයෙන් හතරෙන් එකක් අනාගතය වෙනුවෙන් ඉතිරි කළ යුතුයි කියා. එදා අපේ ගැමි සමාජය තුළ කෑම වේලක් හොයාගන්න බැරි කෙනෙක් හිටියේ නැති තරම්. එක නිවසක අඩුපාඩු තිබෙන විට එය තවත් නිවසකින් පිරිමැහුණා. තවත් කෙනෙකුගේ අඩුපාඩු දුටුවම අනිත් අය ඔවුන්ට උදව් උපකාර කළා. අතීතයේ නිල වශයෙන් නිශ්චිතව බැංකු ක්‍රම නොතිබුණාට එකිනෙකා අතර සම්බන්ධතාවන් තිබුණා. ඔවුනොවුන් එකිනෙකාට උදව් උපකාර කරගත්තා.

මට මතක් වෙනවා හාල් ගරන්නට ගියාම නෑඹිලියේ අවසානයට ගල් සමඟ ඉතිරි වන හාල් ඇට ටිකත් කොහොමහරි බේරලා ගන්න ගෘහණිය දක්ෂයි. ඇය දැනගෙන හිටියා ඒ ටික වුණත් වීසි කරන්න හොඳ නැහැ කියලා. අරපිරිමැස්ම ඉතිරි කිරීම, යන සියල්ල අපේ බාල පරම්පරාව අතරට ආවේ ඒ විදිහටයි.

ආහාර සෑදීම කල්තබා ගැනීම සඳහා කාන්තාව මූලිකත්වය ගෙන කටයුතු කළා වගේම මුදල් හදල් භාවිතයට යොමු වීමේ දී කාන්තාවම තමයි අරපිරිමැස්මට යොමු වුණෙත්. මවක හැටියට ගෘහණියක හැටියට මුදල් පරිහරණයේදී ඇය සුළු මුදලක් හෝ ඉනේ හෝ අල්මාරියේ කොනක සඟවා තබා තිබුණා හදිස්සියකදී ගන්න.

කාලයක් යන විට කුඩා දරුවන් කෑමවල මුදල් ඉතිරි කිරීමත් ක්‍රමයෙන් මෙය බැංකු ක්‍රමය දක්වාත් යන්න පටන් ගත්තා. ඉතිරි කිරීම අරපිරිමැස්ම ගැමි ගැහැනිය උරුම කරගත්ත දෙයක්, ඇය මෙය තමන්ගේ දරුවන්ට පසුකාලීනව පැවරු දෙයක්.

එදා අද තරම් බහුලව රෙදි සාප්පු හෝ විවිධ පන්නයේ මෝස්තර ඇඳුම් තිබුණේ නැහැ. එදා තිබුණේ බොහොම සරල ඇදුම්. මේ නිසා ඇඳුමක් ඉරුණාම එය පැත්තකට දැම්මේ නැහැ එළලා අරගෙන තවත් කාලයක් පාවිච්චි කළා. යම් කිසිවක් අපතේ නොයැවිය යුතුයි කියන සංකල්පය එදා අපේ සමාජය තුළ තිබුණා. මේ දේවල් බෞද්ධ සංකල්පය තුළ තිබු දේවල්. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරන සිවුරු අඳින්න බැරි වූ විට ඒවා පාපිස්නක් ලෙස භාවිත කිරීමටත් ඉන් පසුව එයත් බැරි වූ විට බිත්තියට මැටි ගැසීමේදී ඒ සිවුරු කඩමළු භාවිත කරන්න කියලා.

කෙසේ වෙතත් අරපිරිමැස්ම ඉතිරි කිරීම වගේම අපතේ නොයැවීම එදා අපේ ජනසමාජය තුළ එකට බද්ධව තිබුණා. මේ නිසා තමන් පාවිච්චි කරන ඇඳුම් පැලඳුම් හැකිතාක් දුරට පාවිච්චි කළ යුතුයි කියන අරමුණ තිබුණා. ජපන් සමාජයේදී අපට දැකිය හැකි දෙයක් තමයි ජපන් නිවසක පිඟානට බෙදාගත් ආහාර ඉතිරි නොකළ යුතුයි කියන මතයක් ඔවුන් තුළ තිබෙනවා. අපෙත් ඒ මතය තිබුණාට එහෙම කෙරෙනව ද කියන එකයි ගැටලුව.

පරිසරය ඇසුරෙන් අපට ලැබෙන දේට අපි ගරු කළ යුතුයි. නමුත් අද බලන්න හෝටල්වල කොපමණ ආහාර ඉවත දමනවා ද? ඇතැම් සමාජවල කෑම නැතිව දරුවන් මිය යනවා. අද අපේ සමාජයේ දරුවන්ගේ ඇඳුම් පැලදුම් ගෙන බැලු විට එන එන මෝස්තරවල ඇඳුම් ඔවුන්ට තිබෙනවා. නමුත් මේවා කාලයක් අඳින්නේ නැහැ. ඇතැම් විට මාසයකින් දෙකකින් ඉවත දමනවා. අපතේ නොයැවීම, අරපිරිමැස්ම ඉතිරි කිරීම යන සංකල්ප තිබුණත් අද සමාජය තුළ එය එසේ වන්නේ නැහැ. අකෙනෙකුට සිතෙන්න පුළුවන් වෙනස් වන සමාජය තුළ කොහොම ද මේවා පිළිපදින්නේ කියා. නමුත් අපිට අතීතයේ තිබු ඒ වටිනාකම් එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට බැරි වුණත් මැද මාවතක ගමන් කිරීමට පුළුවන්කම තිබිය යුතුයි.

එදාට වඩා අද සමාජය වෙනස්. අපේ ආහාර රටාව අදින පලඳින විදිහ වගේම සිතන පතන විදිහත් වෙනස් වෙලා. මේ වෙනස් වීමත් සමඟ ඉතිරි කරන්නත් වෙලා තියෙන්නේ. නමුත් සමාජයට, ස්වභාවධර්මයට, අප ජීවත්වන පරිසරයට ආදරෙන් කටයුතු කරනවානම් එදා සමාජයේ තිබු සංකල්ප අදට ගැළපෙන ලෙස ගළපවාගෙන මැද මාවතේ ගමන් කිරීමට පුළුවන්නම් එදා සංස්කෘතියේ තිබු සංකල්ප රැක ගැනීමට පුළුවන්කම තියෙනවා.

අද මිනිසුන් සීමාවකින් තොර මුදල් ඉපයීමට පෙලඹිලා. ඇතැම් විට උපයනවාට වඩා වියදම් කිරීමට යොමුවෙලා. මුළු සමාජයම වාණිජ බවට පත්වෙලා. නමුත් ඔවුන් තුළ ඉතිරි කිරීමක් දක්නට නැහැ. අල්පේච්ඡතාව බෞද්ධ ධර්මයේ උගන්වන දෙයක්. නමුත් අද අයට අපේ සමාජයේ මිනිසුන් තුළ අල්පේච්ඡතාවක් දකින්නට නැහැ. නමුත් අපේ කාන්තාව තවමත් ප්‍රමාද නැහැ. ඇයට පුළුවන් ඉතිරි කරන්නට. නිවසේ අනවශ්‍ය වියදම් කපා හරින්නට. වත්තේ ගහකොළ එළවළු වර්ග පලතුරු ආදිය වවා එය මුළුතැන්ගෙයට එක්කර ගැනීමට. අද තිබෙන්නේ ඇතැම් විට පුංචි ඉඩකඩක්. නමුත් එයත් සැලසුම් කළොත් ඒ ඉඩකඩෙනුත් ප්‍රයෝජන ගැනීමට පුළුවන්. ඒ වගේම තමයි අපේ කාන්තාවෝ රැකියාවල නිරත අය ඉන්නවා.

ඔවුන් තුළ යම් දැක්මක් තිබිය යුතුයි. අනාගතය වෙනුවෙන්, හදිසි අවස්ථා වෙනුවෙන් තමන් සන්තකයේ කීයක් හෝ ඉතිරි කරගැනීමට ඇය වග බලා ගත යුතුයි.

ඒ වගේම තමයි මැදපෙරදිග යන කාන්තාව එහි යන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු පොදි ගහගෙන. ඇයට සිහින ගොඩක් තිබෙනවා.

දරුවන්, පිළිබඳව, නිවසක් තනා ගැනීම ආදි වූ වශයෙන් මෙහිදී උපයන සියල්ලම නිවෙසට නොයවා බැංකුවට මුදල් එවීම ඉතිරි කිරීම ඇගේ අනාගතයට කරගන්නා යහපතක්. එහෙම නැති වුණොත් වෙන්නේ ඇතැම් විට දරුවන් හෝ පුරුෂයා විසින් මේ මුදල් විනාශ කර දැමීමක්.

විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි බැංකු ක්‍රම ඉතිරි කිරීම, කුඩා දරුවන්ට ඉතිරි කිරීමට පෙලඹවීම ඉතා හොඳ දෙයක්. අපි මුදල් පමණක් නොවෙයි හැම දෙයක්ම අරපිරිමැස්මෙන්, අපතේ නොයවමින් අනාගතය උදෙසා අනාගත පරපුර උදෙසා ඉතිරි කළ යුතුයි.

අද කතාබහ
මහාචාර්ය කුසුමා කරුණාරත්න


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: