Posted by: lrrp | September 1, 2013

මුස්ලිම් ඉස්කෝලෙ දෙමළත් ඉගෙන උතුරු මැද පළාතම ජයගත් සිංහල සිසුවා

සිංහල දෙමළ ඉංගිරිසි භාෂා ප්‍රවීණයෙක්

නිමේෂ්

පෙණ පිඬු නංවමින් යෝධ ඇළ හැල්මේ ගලා බසී. ඇළෙන් නික්මෙන ජල බිඳිති හා මුසු වෙමින් සිහිල් සුළං රැලි හමා එයි. දැඩි අව් රශ්මියෙන් දැනෙන දාහයට මේ මඳ පවන් රැලි දිව ඔසුවකි. අපි ශ්‍රී ශෛල බිම්බාරාම විහාරය සමීපයට පැමිණියෙමු. එහි දාගැබ කිරි පැහැයෙන් විරාජමානව වැඩ වසන්නේ පන්සලට නැවුම් කාන්තියක් ද එක් කරමිනි.

හිඟුරක්ගොඩ, මැදිරිගිරිය මාර්ගයේ යෝධ ඇළ ශ්‍රී ශෛල බිම්බාරාමයට යාබද පාරෙන් මඳක් බෑවුමක පිහිටි අඩක් වැඩ නිමවෙමින් පැවැති නිමේෂ් ගේ ඒ සොඳුරු නිවසට අපි ගොඩ වැදුණෙමු.

එස්.එම්.නිමේෂ් මධුරංග නිමල්සේන නම් වූ මේ අපූරු තරුණ සිසුවා සිංහල දෙමළ සමඟියෙහි ප්‍රතිමූර්තියක් බඳුය. සිංහල දෙමළ සමඟිය පිළිබඳ කෙස් පැලෙන තර්ක නඟන දේශපාලනඥයන් අප ඕනෑතරම් දැක තිබේ.

කටින් බතලකොළ සිටවමින් නොසිට නිමේෂ් එය යථාර්ථයක් බවට පත් කැර තිබේ. නිමේෂ්ට සිටින්නේ සිංහල මිතුරන් පමණක් නොවේ. දෙමළ, මුස්ලිම් බොහෝ තරුණ තරුණියෝ ඔහු ගේ හොඳම මිතුරෝය.

නව වතාවක් පන්තියේ පළමුවැනියා වී ජාතික රූපවාහිනියෙන් ලැබූ සහතිකය
නිමේෂ් ඇඳි සිතුවම්

සිංහල පවුලක ඉපිද සිංහල සංස්කෘතික වත් පිළිවෙත් අනුව හැදී වැඩුණු මේ යෞවනයාගේ සුවිශේෂත්වයක් පවතී. ඒ විශේෂත්වය නම් දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමයි.

මේ වන විට කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබන නිමේෂ් එම විදුහලේ දක්ෂ සිසුවෙකි. ශිෂ්‍ය නායකයෙකි.

සිංහලයෙකුව සිංහල සමාජයක ඉපිද දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ මේ අපුරු නැමියාව සිදුවූයේ කෙලෙසදැයි අපි දැඩි කුතුහලයකින් යුතුව විමසුවෙමු.

ඊට පිළිතුරු ලැබුණේ නිමේෂ් ගේ පියාගෙනි. එස්.එම්.නිමලසේන නම් වූ ඔහු තැපැල් දෙපාර්තමේන්තුවේ සේ‍වයේ නියුතුව සිට දැන් විශ්‍රාම ගොස් සිටී. පුතු පිළීබඳ හඬ අවදි කළ ඔහු මෙසේ පැවසීය.

“පොලොන්නරුව කියන්නේ මායිම් ගම්මානයක්. පසුගිය කාලවල පැවැති ත්‍රස්තවාදී ගැටුම් වලින් අපි නොසෑහෙන පීඩාවක් වින්දා. මනම්පිටියටත් පඬුරාන පල්ලියගොඩැල්ලටත් කීප වතාවක්ම කොටි ගැහුවා. ඒ වේදනාබර අතීතය අපිට හොඳට මතකයි. බිම් අඟලක් වෙනුවෙන් නේද මේ මරාගන්නේ කියලා මට හිතුණු වාර අනන්තයි.

මේ ගැටුම්වලට මූලිකම හේතුව සිංහල දෙමළ දෙජාතිය අතර පවතින අවිශ්වාසය කියලා මට හිතුණා. සිංහල අය දෙමළ කතා කළොත් දෙමළ අය සිංහල කතා කළොත් මේ අවිශ්වාසය නැතිවෙයි කියලා මම විශ්වාස කළා. දෙමළ භාෂාව ඉගෙනීමට මගේ දරුවා පෙලඹවීම එහි ප්‍රතිඵලයක් යැයි නිමල්සේන මහතා තම අරමුණ පැහැදිලි කරමින් කීය.

නිමේෂ් ගේ මව වන ජේ.ඒ.මානෙල් පද්මිණී මහත්මිය පිරිනැමූ තේපැන් සංග්‍රහය ද භුක්ති විඳි අපි දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ දී මතු වූ දුෂ්කරතා කවරේදැයි විමසුවෙමු.

නිමල්සේන මහතා ඒ යටගියාව මෙලෙසින් ආවර්ජනය කළේය.

“පුතා හා හා පුරා කියා පාසලට බාර දෙන්න තිබූ කාලේ මම වැඩ කළේ ජයන්තිපුර තැපැල් කාර්යාලයේ. නුගගහදමන මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලය තිබුණෙත් මේ කිට්ටුව. මගේ දරුවාට දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලබා දෙන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒ වෙනකොට මුස්ලිම් කනිෂ්ඨ විදුහලේ විදුහල්පති වී සිටියේ නෂීර් නැමැති මහත්තයෙක්. මා ඒ විදුහල්පතිතුමා හමු වී මගේ අවශ්‍යතාව ඔහුට කියා සිටියා. විදුහල්පතිතුමාත් පුතාව පාසලට ගන්න එකඟ වුණා.

පාසල් හැනුම්පත
ලැබූ සහතික ගොන්න

එදා පටන් මම වැඩට යනකොට මගේ බයිසිකලයේ තියාගෙන පුතාවත් පාසලට එක්කරගෙන ගියා. මෙහෙම කාලය ගත වෙත්දී ක්‍රම ක්‍රමයෙන් පුතා ලොකු මහත් වෙනකොට එයාට වෙනම බයිසිකලයක් අරන් දුන්නා. පුතා ඒ බයිසික‍ලෙන් පාසල් ගියා.

දෙමළ භාෂාවෙන් ඉගෙන ගැනීමේ දී පුතාට මුහුණපෑමට සිදු වූ අභියෝග මොනවාදැයි මෙතෙක් අපේ කතාවට සාවධානව සවන් යොමා සිටි නිමේෂ්ගෙන් මම විමසුවෙමි. පුටුවේ හරිබරිගැසී වාඩි වූ නිමේෂ් තමා වෙනතකට යොමු කළ ජීවන මං පෙත දිගහැරියේ මෙලෙසිනි.

“පළමු වසරට ඇතුළත් වෙනකොට මට දෙමළ වචනයක්වත් කතාකරන්න බෑ. දෙමළ අකුරක්වත් ලියන්නත් බෑ. ගුරුවරු මුලින් මුලින් සිංහලෙන් කතා කරලා මට දෙමළ ඉගැන්නුවා. කල්යාමේදී මට ටි‍ෙකන් ටික දෙමළ කතා කරන්නත් ලියන්නත් පුළුවන් වුණා. මට මේ තැනට එන්න ගුරුවරුන්, මුස්ලිම්, ‍ෙදමළ දෙජාතියේම යාළුවොත් හුඟක් උදව් උපකාර කළා. පළමු වසරේ සිට අඛණ්ඩව වසර නවයක් අපේ පන්තියේ පළමුවැනියා වුණේ මමයි.

මම දෙමළෙන් ඉගෙනගන්න විට සිංහල ලියන්න බැරිවෙයි කියලා තාත්තට ලොකු බයක් තිබුණා. ‘නෝම්බි’ කාලයට මුස්ලිම් ඉස්කෝලේ නිවාඩු. ඒ දවස්වලට ජයන්තිපුර කනිෂ්ඨ පාසලට ඇතුළත් වෙලා සිංහල ඉගෙනගන්නත් මට අවස්ථාවක් ලැබුණා. දහම් පාසල් නොකඩවාම ගිය නිසා බුද්ධ ධර්මය පිළිබඳවත් ඉගෙන ගත්තා. මගේ සිංහල දැනුම වැඩිදියුණු වෙන්න දහම් පාසලත් ලොකු පිටිවහලක් වුණා.

විභාගයට පිළිතුරු ලිවීමේදී දෙමළ භාෂාවෙන් ලිවීම ගැටලුවක් වූයේ නැතිදැයි මම නිමේෂ්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මුලින් සිංහලෙන් සිතා ඒ උත්තර දෙමළ භාෂාවට පරිවර්තනය කළ බවයි. එහෙත් දැන් දෙමළ භාෂාවෙන්ම සිතා පිළිතුරු ලිවීමට තමාට හැකියාව ඇතැයි නිමේෂ් පවසන්නේ උතුරා යන සොම්නසින් යුතුවය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස නිමේෂ් සමත් වන්නේ ඒ සාමාර්ථයක්, බී සාමාර්ථයක් සහ සී සාමාර්ථ හතක් සමඟිනි. දෙමළ භාෂාවටත් ඉස්ලාම් ධර්මයටත් නිමේෂ් සම්මාන සාමාර්ථ ලබා තිබේ. කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන නිමේෂ් දේශපාලන විද්‍යාව, චිත්‍රකර්මය, භූගෝලවිද්‍යාව යන විෂයයන් උසස් පෙළ සඳහා තෝරාගෙන තිබේ.

ඔහු චිත්‍ර ඇඳීමට ද උපන් හහපන්කම් දක්වන්නෙකි. නිමේෂ් ගේ දෑතින් නිම වූ විවිධාකාර සිතුවම් රැසක් රැගෙන පැමිණි නිමේෂ් ගේ මව ඒවා පුටුවක තබා අප ඉදිරියේ ප්‍රදර්ශනය කළාය. නෙක විසිතුරු මනරම් රටා මැවුණු ඒ චිත්‍ර අනාගතයේ දී ප්‍රතිභාපූර්ණ චිත්‍ර කලාකරුවකු ගේ අංකුර සිතුවම් බඳුය. චිත්‍ර කර්මයෙහි උපන් හපන්කම් දැක්වීම නිසා නිමේෂ් විවිධ අවස්ථාවන්හි දී සම්මාන බුහුමන්වලට ද ලක්ව තිබේ.

පියා නිමලසේන

 

කාලවර්ණ ආරෝහපරිණාහ දේහයකින් යුත් නිමේෂ් දෙමළ බස වහරන විට මේ සිංහල තරු‍ණයෙකැයි කිසිවකුට සිතා ගැනීමට අසීරුය. ඉස්ලාම් දහම ප්‍රගුණ කැර ඇති නිසා ඉස්ලාම් ආගමට එක්වන ලෙස මුස්ලිම් සමාජය වෙතින් ද ඔහුට නිරතුරුවම ඇරියුම් ලැබෙයි. එහෙත් බුදු දහම සිය හදවතටම කිඳාබැස ඇති නිසා එය අත්හැරීමට අදහසක් ඔහු තුළ නොමැත. සියලු ආගමික හරයන් එක්රැස් කැර ගනිමින් සාර්ථක ජීවිතයක් ගත කිරීම නිමේෂ් ගේ අභිප්‍රායයි.

සිංහල ජනතාව දෙමළ භාෂාව දැන සිටියා නම් දෙමළ ජනතාව සිංහල භාෂාව දැන සිටියා නම් ත්‍රස්තවාදී යුද්ධය මෙතරම් කාලයක් ඇදී නොයන බව නිමේෂ් ගේ අදහසයි.

පසුගිය දිනෙක යෝධ ඇළ ප්‍රදේශයේ ජනතාව යාපනය දැක බලා ගැනීම සඳහා සංචාරයක නියුතු විණි.

එහි දී යාපනයේදී බසයේ කාර්මික දෝෂයක් සිදුවූ බවත් මේ වන විට වෙලාව රාත්‍රි දහය ද ඉක්මවා තිබූ බවත් පවසන නිමේෂ් ඒ අසල නිවෙස්වලට දෙමළ භාෂාවෙන් කතා කැර කාර්මිකයන් සොයාගෙන බසයේ යාන්ත්‍රික දෝෂය යථා තත්ත්වයට පත් කරගත් බවත් සිහිපත් කරයි. එවැනි හපන්කමක් කිරීමට තමාට හැකියාව ලැබුණේ දෙමළ භාෂාව හොඳින් පරිහරණය කිරීමට තිබූ හැකියාව නිසා යැයි ද හෙතෙම සඳහන් කරයි.

ක්‍රීඩා කුසලතා මැනවින් ඔප්නංවා ගෙන ඇති නිමේෂ් යගුලිය, කවපෙත්ත, හෙල්ල වැනි වීසිකිරීමේ ඉසව්වලට අති දක්ෂයෙකි. ඔහු ලැබූ සම්මාන, සහතික, පදක්කම් සංඛ්‍යාව ද විශාලය. උතුරු මැද පළාතේ විශිෂ්ටතම සිසුවා ලෙසින් ද ‘මං පළමුවැනියා’ නම් රූපවාහිනී සම්මානයෙන් ද පිදුම් ලැබීම නිමේෂ්ගේ සතුට වැඩිදියුණු කළේය. නිමේෂ් ඒවා අපට ප්‍රදර්ශනය කළේය. දක්ෂතා රැසක් උපතින්ම රැගෙන පැමිණි මේ තරුණයා වත්මන් තරුණ සිසු පරපුරට පරමාදර්ශයකි.

අනාගතයේ දී කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට බැඳී හමුදා බුද්ධි අංශයේ නිලධාරියකු ලෙස රටට සේවය කිරීමට නිමේෂ් පෙරුම්පුරයි. නිමේෂ්ගේ ඒ අහිංසක සොඳුරු සිහිනය යථාර්ථයක්ම වේවායි ප්‍රාර්ථනය කරමින් නිමේෂ්ගේ කැදැල්ලෙන් අපි නික්මුනෙමු.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: