Posted by: lrrp | July 21, 2013

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුබව අත්වෙනවා

මේ කියන්නට යන්නේ යුග ගණනක් ඈතට දිවෙන අතීත කතාවකි. කෝට්ටේ යුගයේ දී බස්නාහිර පළාතේ බොහෝ ගම් බිම් ජනාවාස වුණි. විශේෂයෙන් iv වැනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී සයවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් බැබිලි යන තැනැත්තාට ගම්වරයක් ප්‍රදානය කරන ලදී. එම ප්‍රදේශය එකල බැබිලියාන නමින් ද පසුව උච්චාරණයේ පහසුව තකා පැපිලියාන හැටියට ද වෙනස් වී ඇත. අද කොළඹ හොරණ මාර්ගයේ කොහුවල පසුකළ විටදී පැපිලියාන හමුවේ. එමෙන්ම ‘බැබිලිගෙන්’ පැවත එන්නෝ පැපිලියානගේ යන වාසගම භාවිතා කරන්නට වූහ. බැබිලිගෙන් පැවත ආ පරපුර පසුව තෙලවල, බොරුපන, මොරටුමුල්ල ආදී ප්‍රදේශවල පදිංචි වී ඇත. එකල මොරටුව, ලුනාව ප්‍රදේශයේ පොළක් ද තිබිණි. ඇළ මාර්ග හා මුහුදු මාර්ග ආදිය භාවිතයෙන් මේ ප්‍රසිද්ධ පොළට බොහෝ දෙනා ආව ගියහ. ගාල්ලෙන් ද ඉඳුරුවෙන් ද ලුනාව වෙළෙඳපොළට වෙළෙන්දෝ ආහ.

මේ අතුරු කතා අතර ප්‍රමුඛ වන්නේ අප කියන්නට යන තෙලවල ග්‍රාමයයි. එය ක්‍රමයෙන් ජනාවාස වූ ගමකි. මුල් කාලයේ පවුල් හත අටක් ජීවත් වූහ. මේ ගමේ ප්‍රධානියා වුයේ ප්‍රෝලිස් කුලවර්ධන විදානරාලහාමිය. ඔහු රජයේ නියෝජිතයා ද විය. එමෙන්ම ඔහු යමක්කමක් තිබුණු අයකු වූ අතර ගමෙහි දියුණුව වෙනුවෙන් බොහෝ කැපවීමෙන් කටයුතු කළ තැනැත්තෙකි.

තෙලවල ගම්මානය එකල වළං කර්මාන්තය සඳහා ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි. ගමට යහපත් දේ කළ ප්‍රෝලිස් කුලවර්ධන විදානරාලහාමි එකල තෙලවල ගම්වැසියන් වෙනුවෙන් තමන්ට අයත්ව තිබූ ඉඩමක් පරිත්‍යාග කර පාසලක් ආරම්භ ‍කළේය. ඒ එක්දහස් අටසිය අනූඅටේ දීය. කුඩාවට ආරම්භ කෙරුණු පාසලේ මුල්ම කළමනාකරු හැටියට කටයුතු කරන ලද්දේ ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේය.

වසර සියයකටත් වඩා පැරැණි තෙලවල රාහුල විද්‍යාලය මේ වන විට ප්‍රදේශයේ හොඳ නමක් දිනාගෙන ඇත්තේය. එහෙත් ඒ හොඳ නම ලැබීමට පෙර විද්‍යාල‍ය‍ බොහෝ අභාග්‍යසම්පන්න කාලයක් ගත‍කළේය. එය වසරක දෙකක නොව වසර ගණනක කඩාවැටීමකි.

ප්‍රදේශයේ ජනතාව අතර අප්‍රසාදයට පත්වෙමින් තිබූ පාසලේ නාමය යළිත් ගොඩගත හැකි යැයි කිසිවකුත් නොසිතුවේය. ගමේ දරුවෝ ගමේ පාසල මඟහැර ගමෙන් එපිට පාසල් සොයා යන්නට වූහ. දරුවෝ හිතුණු හිතුණු වෙලාවට පාසල් ආහ. ගුරුවරු ද එසේමය. ඉගෙනීම කඩාකප්පල් විය. පාසල වැසීයන මට්ටමට ආවේය. වැසි කාලයට පාසල් වත්ත එකම මඩ ගොහොරුවකි. පාසල පත්වූ දුක්ඛිත තත්ත්වය පිළිබඳව බලන්නට එය ගොඩගන්නට කිසිවෙක් නොසිටි මොහොතක පාසලට අලුත් විදුහල්පතිවරයෙක් පත්ව ආවේය. කවුරුත් බලා සිටියේ කුමකින් කුමක් වේද කියාය. පත්ව ආ නව විදුහල්පතිවරයා භික්ෂූන් වහන්සේ නමකි.

උන්වහන්සේ මුලින්ම පාසල ද එහි දරුවෝ පිළිබඳව මෙන්ම දෙමවුපියන් ගැන ද අධ්‍යයනය කළහ. පාසල් කාලය තුළ හන්දිවල අපිළිවෙළ පාසල් ඇඳුමින් ඇවිද ගිය වැටෙන් පැන පාර දිගේ ගොස් අවේලාවේ ගෙවල්වලට ගිය දරුවෝ මෙන්ම හිතූ හිතූ වේලාවට පාසලට පැමිණි දරුවන්ට ද වැට බැඳිණි.

“පලපොත සුමනානන්ද හාමුදුරුවෝ අපේ පාසලේ විදුහල්පති තනතුරට ඇවිත් මේ වන විට මාස දහයක් විතර ඇති. අද වන විට පාසලේ පැහැදිලි වෙනසක් දකින්නට පුළුවන්කම තියෙනවා. හාමුදුරුවෝ එනවිට මේ පාසලේ දරුවෝ අවටට හිරිහැරයක් වෙලා හිටියේ. නමුත් අද වන විට ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස්. අපි තාමත් මේ පාසලේ කටයුතු පිළිබඳව සොයා බැලී‍ම් කරනවා.. දරුවෝ පිළිවෙළකට පාසල් එනවා. පාසල් ඇඳුම පිළිවෙළක් ඇතිව අඳිනවා. හාමුදුරුවන්ගේ උත්සාහය නිසයි දරුවන්ට පාසලට දාන්න සපත්තු ලැබුණෙත්.”

අතීතයේ තෙලවල ගම්මානයේ විදානරාලහාමි වූ ප්‍රෝලිස් කුලවර්ධන මහතාගේ පරම්පරාවේ පස්වැනි පුරුකේ ඒ කියන්නේ කුලවර්ධන මහතාගේ මුනුපුරකු වන ජිනසේන කුලවර්ධන මහතා පවසයි.

මඩවගුරක්ව තිබූ රාහුල විද්‍යාලය අද පිළිවෙළය. පිරිසුදුය. දරුවෝ තම පාසල ගැන අභිමානයෙන් කටයුතු කරති. ඔවුහු ඉගෙනීමට මුල්තැන දෙන අතරේම පාසලේ බාහිර කටයුතුවලට ද මුල්තැන දෙන්නෝය.

“අපි කවදාවත් හිතුවේ නැහැ පාසල මේ තත්ත්වයට ඒවි කියලා නායක හාමුදුරුවෝ වැඩියට පස්සෙ අපේ පාසලේ ක්‍රීඩා උත්සවයක් පැවැත්වුවා. එදා උත්සවය සාර්ථකව තිබුණා. උත්සවය අවසානයේ හැමෝම යන්න ගියා. ඒත් නායක හාමුදුරුවෝ අපිව නතර කර ගත්තා. ගුරුවරුත් හිටියා. අපත් සමඟ උන්වහන්සෙත් බිම වාඩිවුණා. උත්සවයේ අඩුපාඩු මෙන්ම සාර්ථක අසාර්ථක බව, අපිට දැනෙන දේ, අපි හිතන දේ ගැන අපිත් එක්ක කතාකළා. උන්වන්සේගේ ඒ කතාබහ, අපි හැමෝ සමඟම සුහදව සාකච්ඡා කිරීම අපිට ලොකු හයියක් වුණා.” පාසලේ වැඩිහිටි දරුවෝ අතීතයේ දවසක් ගැන පවසන්නාහ.

කවුද මේ පලපොත සුමනානන්ද හිමි? එක්දහස් නවසිය අසූහ‍ෙත්දි පැවිදි දිවියට ඇතුළත් වූ සුමනානන්ද හිමි‍යෝ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූහ. දෙදහස්තුන වසරේදී ත්‍රිකුණාමලයේ මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතුවල නියැළී සිටියේය.

“මම ඒ ගම්මානයේ අවුරුදු තුනක් හිටියා. මේ සිංහල පාසල තිබුණේ දෙමළ හා මුස්ලිම් ගම්මාන දෙකකට මැදිව. නමුත් නායක හාමුදුරුවො අසනිප වීමත් සමඟ මම 2005 දි කොළඹට ආවා. මම සොයිසා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතුවල යෙදුණා. මම රාහුල විද්‍යාලයට ඇවිත් මාස කිහිපයයි. ඒත් එදා තත්ත්වයයි අද තත්ත්වයයි දිහා බැලුවම සෑහෙන වෙනසක් තියෙනවා. ගිය වසරේ සැප්තැම්බර් වන විට පාසලේ පළවෙනි ශ්‍රේණියට ඉල්ලුම් පත්‍ර ලැබී තිබුණේ දහයකටත් අඩු සංඛ්‍යාවක්. නමුත් 2013 ජනවාරියේ පාසල පටන් ගනිද්දි එය වෙනස් වුණා. මා එන විට පාසල් දරුවො අසූවටත් අඩු සංඛ්‍යාවක් සිටියේ. නමුත් අද ඒ තත්ත්වය වෙනස්.”

වැ‍ෙසන්නට ගිය, වැසීමට ගිය පාසල ගොඩගත්තේ උන්වන්සේය. භික්ෂූන් වහන්සේ නමක කෙසේද පාසලක් ගොඩනඟන්නේ. පාසල නඟාසිටුවීමේ ක්‍රමවේදය උන්වහන්සේ ක්‍රියාත්මක කළේ තමන්ටම ආවේණික ලෙසය.

“එදා ගුරුවරු එකොළහයි හිටියේ. අද ගුරුවරු දහඅටක් ඉන්නවා. දරුවෝ නොමඟ යන්නේ හරි මඟපෙන්වීමක් නැති නිසා. මම පාසලේ දරුවන්ට පමණක් නොවේ ඔවුන්ගේ දෙමවුපියන්‍ටත් කතාකළා. අතීතයේ හොඳ කීර්ති නාමයක් දිනාගෙන හිටිය පාසල යළිත් ඒ තත්ත්වයට ගෙන ඒමයි ම‍ෙග් අරමුණ. පාසලේ දරුවන් පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා කණ්ඩායම් දහ අටකට බෙදුවා. මේ හැම කණ්ඩායමකටම ගුරුවරයෙක් ඉන්නවා. ශිෂ්‍ය නායකයෙක් ඉන්නවා. ඒ වාගේම අකුරු ලියන්න බැරි ඉගෙනීමේ දුර්වල ළමයි වගේම දක්ෂ දරුවෝ ඉන්නවා. කාගෙ හරි කණ්ඩායමක ඉගෙනීමේ අදක්ෂ දරුවෙක් ඉන්නවා නම් කණ්ඩායමේ අනෙක් දාහත්දෙනාගේම වගකීම තමයි අර දරුවා උනන්දු කරවීම. ඔහුට කියාදීම. මගේ ඒ පළමු කාර්යය සාර්ථක වුණා. මම දරුවන් දැනුවත් කර තිබෙන්නේ මේ හැම කණ්ඩායමකින්ම හොඳ කථිකයන් දක්ෂ දරුවන් අවශ්‍ය බව. එය අද වන විට සාර්ථකයි. ඒ ‍වගේම දුප්පත් නැති බැරි දරුවෙක් තම කණ්ඩායමේ ඉන්නවා නම් ඒ දරුවට උදව් කිරීම අනෙක් අයගේ වගකීම. මේ කණ්ඩායම් ක්‍රමය හරහා අපිට අද වන විට හොඳ කථිකයෝ චිත්‍ර අඳින්න පුළුවන් දරුවෝ, රචනා ලියන්න පුළුවන් දරුවෝ බිහිවෙලා තියෙනවා.”

ඒ එක් කණ්ඩායම් ක්‍රමයකි. විදුහල්පති හිමියන්ගේ අනුදැනුම පරිදි තවත් කණ්ඩායම් ක්‍රමයක් ඇත්තේය. ඒ කණ්ඩායම් ක්‍රමයට අනුව දරුවා පාසලින් පිටවන කාලය වන විට ඔහු ගුණයහපත් මෙන්ම නායකත්වය දැරීමේ හැකියාව ඇත්තෙකු බවට පත්ව හමාරය. එමෙන්ම මිනිසුන්ට ආදරය කරුණාව පෑමට මෙන්ම මිනිසුන්ට උදව් කිරීමට ද, පරිසරය රැකගැනීමට, පරිසරයට ඇලුම් කිරීමට ද හුරුවූවෝය.

“පාසලේ අටේ පන්තියේ ළමයි “ළමා මිතුරෝ” කණ්ඩායමට අයත්. නවය පන්තියේ ළමයි “පරිසර මිතුරෝ” කණ්ඩායමට අයත්. මේ දරුවෝ පාසලෙන් පිටව යන විට ගතිගුණ මෙන්ම උගත්කමින් සම්පූර්ණ දරුවන් කොටසක්. අපේ පාසලේ සිංහල දරුවන් පමණක් නොවෙයි අන්‍යාගමික දරුවොත් ඉන්නවා. නමුත් මේ සියලුම දරුවන් එක පවුලක දරුවෝ වගේ ජීවත් වෙනවා, අද අපේ පාසලට පුස්තකාලයක්, පරිගණක අංශයක් මෙන්ම බොහෝ දේ ලැබී තිබෙනවා. අද පාසල වගේම පාසලේ දරුවොත් සුරක්ෂිතයි.”

ශාස්ත්‍රපති පලපොත සුමනානන්ද හිමියෝ පවසති.

හරිහමන් මඟ පෙන්වීමක් නැතිකමින් කොළඹ දිස්ත්‍රික්කයට අයත් වැසී යාමට ඉඩ තිබූ ‍ෙම් පාසල අද ක්‍රම‍ෙයන් ප්‍රදේශයේ හොඳ නමක් දිනමින් සිටින්නේය. එදා ළමයි අසූ ගණනක් සිටි පාසලේ අද ළමයි තුන්සිය ගණනකට වැඩියෙන් ඉගෙනුම ලබති. පාසලින් ඈත්ව ගොස් සිටි ගුරුදෙගුරුන්, පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය, යළිත් පාසල වටා එක්වී සිටිති. අද තෙලවල ගම්මානයේ මවුපියවරු පිට පාසල් සොයා යන්නේ නැත. ආදි ශිෂ්‍ය‍යෝ නිතර පාසලට යති එති. එදා වැටෙන් පැන පාරවල් දිගේ ගිය දරුවෝ අද සන්සුන්ය. නොසරුප් බස් කතා කළ ඇතැමුන් අද තැන්පත්ය.

“සුබ උදෑසනක්”

“තෙරුවන් සරණයි”

ඔවුහු අද ජාති ආගම් බේද ‍පසෙකලා එකිනෙකා අමතති.

ඒ විදුහල්පති හාමුදුරුවන්ගේ හා ගුරුවරුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයයි. ඒ තෙලවල රාහුල දරුවන්ගේ අභිමානයයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: