Posted by: lrrp | June 30, 2013

හංගමුවේ දරුවන්ගේ අධිෂ්ඨානයේ කතාව

මහ කැලයක් කුරුඳු ගොවිපළක් කළ හැටි

‘අපට සල්ලි නෑ. වෙනත් පහසුකමුත් නෑ. ඒත් අපට හිතක් තිබුණා. ඒ හිතේ ආත්ම ශක්තියත්, ආත්ම ධෛර්යයත් ඕනෑවටත් වඩා තිබුණා. ඒක හින්දා අපි කවුරුවත් උදව් කරනකම් බලා හිටියෙ නෑ. අපට දැනුණා අපට අපේ දෙපයින් හිටගන්න පුළුවන් කියලා. අපි ඔක්කොම එකට එකතු වුණා. පුංචි වුණත් ඒක මහා ශක්තියක්.’

මෙහෙම කියන්නේ රත්නපුර නිවිතිගල හංගමුවේ පද්මෝදය මහා විද්‍යාලයේ දරුවො. දරුවො 850 යි, ගුරු මණ්ඩලය 45 යි. වැහි දෙකක් වැස්සොත් ගංවතුරට යටවෙන පාසලක්. අහිංසක මවුපියන්ගෙ දරුවෝ. එක්කෝ මැණික් පතල්වල, එක්කෝ තේ වතුවල සොච්චම් පඩියකට වැඩ කරන මිනිසුන්ගේ දරුවෝ.

කොච්චර අඟහිඟකම් තිබුණත් මේ ඉස්කෝලෙට එක සම්පතක් තිබුණා. ඒ සම්පත ලැබෙන්නේ 2010. ඒ තමයි විදුහල්පති පුටුවේ ඉඳගත්තු ඇත්ඔයේ මහින්ද හාමුදුරුවෝ.

මහින්ද හාමුදුරුවන්ට තේරුණා දුප්පත් වුණත් මේ දරුවන්ට මොකක් හරි වැඩක් කරන්න ලොකු ඕනෑකමක් තිබෙන බව. ඔවුන් හරිම කාර්යශූරයි. මවුපියොත් ඉස්කෝලෙ දිහා බලාගෙන හිටියා. ඒ ඔක්කොම ලෑස්තියි මතක හිටින වැඩක් කරන්න. මහින්ද හාමුදුරුවො මේ බව තේරුම් ගත්තේ විදුහල්පති වෙලා ආව පළවැනි සුමානේදී දෙකේදී.

මහින්ද හාමුදුරුවෝ හදිසි රැස්වීමක් කැ‍ඳෙව්වා. ප්‍රදේශයේ සම්භාවනීය පිරිස්, ආදි සිසුන්, මවුපියන් සෑහෙන ප්‍රමාණයක් මහින්ද හාමුදුරුවෝ එක්ක එක පෙළට සිට ගත්තා. මහින්ද හාමුදුරුවෝ අත දික්කරලා පෙන්නුවා අක්කර දෙකක විතර ඉඩම. ඒක වැඩක් නොගෙන මුඩු වෙලා ගිහින්. හාමුදුරුවෝ බොහොම තීරණාත්මක හඬකින් මෙහෙම කිව්වා.

“ඔබ ලෑස්ති නම් මම ලෑස්තියි ඉස්කෝලෙ දියුණු කරන්න. පටන් ගැන්මක් හැටියට මේ අක්කර හතෙන් තුනක් කුරුඳු වගාවක් බවට පත්කරන්න අපිට පුළුවන්.”

ළමයින් කුරුදු වගාවේ යෙදෙන අයුරු

හාමුදුරුවෝ එහෙම කිව්වම කසුකුසුවක් පැතිර ගියා. ‘හාමුදුරුවෝ ඔය කිව්වට මේ මහා කැලෑව කොහොමද කුරුඳු වගාවක් කරන්නේ’ කිහිප දෙනෙක් එහෙම අසුබවාදී ප්‍රකාශ කළත් බහුතරය හාමුදුරුවොත් එක්ක එකතු වුණා.

අක්කර තුනක පාසල් වත්ත ශුද්ධ කරලා වැඩේ පටන් ගත්තා. ආදි ශිෂ්‍යයෝ බිම් සකස් කිරීම් කරලා දුන්නා. ඉස්කෝල දරුවෝ එක්කෙනෙක් කුරුඳු පැළ හතර ගාණෙ හිටෙව්වා. ඒවා නඩත්තු කිරීමත් ඔවුන්ට ම බාර කළා. හැබැයි ඉස්කෝලේ වැඩවලට බාධා නොවෙන විදියට.

ඔවුන් ඒ සඳහා කාලය වෙන් කරගත්තා. පොහොර දැම්මා, වල් නෙළුවා. ඉස්කෝලෙ ගුරු මණ්ඩලයත් ළමයි සමඟ හරි හරියට වැඩ කළා. දැන් ඒක එකම කුරුඳු වත්තක්. ඊට අමතරව ගම්මිරිස් අක්කර 3 ක් ළමයි වැවුවා. පුවක් පැළ 1500 ක් හිටෙව්වා.

අස්වැන්න නෙළීම සිදුවන්නේ මාස හයකට වරක්. අක්කරයකින් වරකට ලක්ෂ 3 ක් හොයන්න පුළුවන්. ඒ අනුව අක්කර තුනෙන් ලක්ෂ 9 ක් වරකට හොයන්න පුළුවන්. දෙවර බැගින් වුණාම වසරකට ලක්ෂ 18 ක් ආදායම් ලබන වත්තක් බවට පත්වුණා.

ඒත් කුරුඳු අස්වැන්න සකස් කරන අයට හරියටම භාගයක් ගෙවන්න ඕන. ඒක තමයි සම්ප්‍රදාය. කුරුඳු පැළයක වර්ධනය වසර තුනකින් තමයි සම්පූර්ණ වෙන්නේ.

එකළොස් වැනි ශ්‍රේණියේ නිපුනි ජෙසීලා සිසුවිය පවසන්නේ මෙන්න මෙහෙම කතාවක්.

“අපේ ඉස්කෝල වත්ත ඉස්සර මහ කැලෑවක්. සර්පයොත් හිටියා. නමුත් හාමුදුරුවෝ ඉස්කෝලෙට ආවට පස්සෙ ඒ කැලෑව කුරුඳු වත්තක් වුණා. අපි තමයි කුරුඳු හිටවලා නඩත්තු කළේ. අපි දිනපතාම මේ කුරුඳු වගාව රැකබලා ගත්තා.

දැන් අස්වනු නෙළන කාලෙත් ඇවිත්. අපිට කියන්න බැරි තරම් සතුටුයි. වත්ත හරිම ලස්සන වෙලා. ඉස්කෝලෙට තියෙන ආදරෙත් වැඩිවෙලා. ඉදිරි කාලෙදි අපේ ඉස්කෝලෙට ගොඩක් සල්ලි හම්බු වෙන බව අපි දන්නවා. ඒ අපේ මහන්සිය නේද කියලා හිතනකොට අපිට දැනෙන්නේ පුදුම සතුටක්. වෙනත් ඉස්කෝලවල ළමයි, ගුරුවරු අපේ කුරුඳු වත්ත ගැන අහනකොට අපිට කොයිතරම් ආඩම්බරයක් හිතෙනව ද?

විදුහල්පති ඇත්ඔයේ මහින්ද හිමි

හැම දරුවකුටම කුරුඳු පැළය ගැන විස්තර සටහන් කරන්න කාඩ්පතක් දුන්නා. පොහොර යෙදීම, වල් නෙළීම පමණක් නොවෙයි උස මහත සටහන් කරන්නත් ඒකෙ ඉඩක් තිබුණා. අන්තිමේදී මේ වැඩේ අපේ දරුවන්ගේ විනෝදාංශයක් බවට පත්වුණා. දොළොස් වැනි වසරේ කලා අංශයේ ඉගෙනුම ලබන සංජීව පවසන්නේ, පාසලෙන් ලැබුණු මේ ආභාසය අනුව පාසල් ළමයි හුඟ දෙනෙක් තම තමන්ගේ ගෙවතු ද වගා බිම් බවට පත්කරගෙන ඇති බවයි. ඒ නිසා ඉස්කෝලෙන් පටන්ගත්තු මේ වැඩපිළිවෙළ දැන් ගමටත් ගිහින්.

මේ කුරුඳු වගාවේ පළමු අස්වැන්න නෙළීම උත්සවාකාරයෙන් සිදුකිරීමට දැන් සියල්ල සූදානම්. ඒ ජූලි මස 01 වැනි සඳුදා එනම් හෙට.

හංගමුවේ දරුවෝ මුළු ලංකාවට ම පවසන එක් උදාන වාක්‍යයක් තිබෙනවා.

“කවුරුවත් උදව් කරනකම් අපි බලාගෙන හිටියේ නෑ. අපි අපේ ශක්තිය ගැන විශ්වාසය තිබ්බා. එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ. අවශ්‍ය වන්නේ ඕනෑකමයි කැපකිරීමයි විතරයි. ඔබ දන්නවා ද හෙට දවස අපට කොච්චර සතුටු දවසක් වේවි ද කියලා. අපේ විදුහල්පති හාමුදුරුවොත් එක්ක බොහොම වටිනා ආදර්ශවත් ගමනක් ගියා කියන එක අපි මුළු රටට ම කියන්නේ මහත් අභිමානයකින්.”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: