Posted by: lrrp | June 30, 2013

කැලෑ පොජ්ජෙ ඉස්කෝලේ කැකුළු කැකුළියෝ

දැඩි හිරු රශ්මිය සිරුර දවයි. ඇඟ වැදෙන සුළඟ ද වියළිය. අධික පෑවිල්ලට හසුවූ මාදුරුඔය රක්ෂිතය පුරාම ඇත්තේ දැඩි වියළි බවකි. දඹාන ආදිවාසී ගම්මානය දෙසට නොව ගුරුකුඹුර ඉස්කෝලය දෙසට අපි පියනැඟුවෙමු. ගුරු පාරෙන් නැඟෙන දූවිල්ල සුළඟේ විසිර යයි. දෙපස ඇති ආදිවාසි කඩපිල්වල තැනෙක බෙලිමල් බොන්නට ද තවත් තැනෙක උණු උණු රොටියක රස බලන්නට ද ඉඩ නැතිවාම නොවෙයි. එහෙත් අපට අවශ්‍ය වූයේ පාසල ඇරෙන්නට ප්‍රථම ගුරුකුඹුර පාසලට යාගැනීමටය.

ගොඩනැඟිල්ලකින් දෙකකින් සමන්විත ගුරුකුඹුර පාසලේ ඒ වන විටත් පන්ති අවසන්ව තිබිණි. එහෙත් පොඩිත්තන්ට නම් නිවෙසට යෑමට ඉක්මන් බවක් නැති සේය. ඇතැමෙක් ගුරුපාර දිගේ කැලෑ මං දිගේ නිවෙස්වලට යති. තවකෙක් අම්මා හෝ තාත්තා එහෙමත් නැත්නම් වැඩිහිටියකු පැමිණෙන තුරු පාසල් වත්තේම තුරු සෙවණක් යට සම වයස් දරු දැරියන් සමඟ සෙල්ලමේය. ඒ දරු දැරියන් මැද්දේ කැටකෑල ගස් සෙවෙණේ ලී කොටයක් මත වාඩිවී හිඳින සුපුරුදු රුවක් ද අප නෙත ගැටිණි.

“මාමකැච්චක්” (ආයුබෝවන්)

ඔහු අප පිළිගත්තේ ආදරයෙනි.

ඒ වෙන කිසිවෙක් නොව දඹානේ ගුණවර්ධනය. ආදිවාසී ගම්මානයෙන් ප්‍රථම වරට විශ්වවිද්‍යාලට තේරුණු ගුණවර්ධනය. ඔහු ලේඛකයෙකි.

”මම සාමාන්‍ය පෙළ කරන කාලේ දැන උන්නේ නැහැ එහෙම විභාගයක් තියෙනවා කියලා. විභාගය ලියන විටයි දන්නේ මේ ලියන්නේ සාමාන්‍ය පෙළ කියලා. උසස් පෙළ පන්තියේ ඉන්න විටයි දන්නේ උසස් පෙළ කරන බව. දැන් දරුවෝ නම් බාල වියේ ඉඳලම ගන්න තියෙන විභාග ටික දන්නවනේ. මගෙන් පස්සේ නම් හත් අටදෙනෙක් විතර කැම්පස් ගියා.

මං ඉගෙනගන්න කාලේ මට මුහුණ දෙන්න සිදුවුණ හැමදේම අභියෝග. මම කොළඹට යන විට ගමේ අය හිතුවා මං ඒ අයට නගරයට යන්න පාලමක් හදයි කියලා. ඒත් මගෙන් එහෙම දෙයක් වුණේ නැහැ. මයෙ අම්මා නැතිවීම මට අමුතු අත්දැකීමක් වුණා. අපේ පවුලේ අය එහෙම අත්දැකීමක් විඳලා තිබුණෙම නැහැ. අම්මා නැතිවුණ එක මට පිස්සුවක් වගේ.

අම්මා නැති වෙනකොට මට අවුරුදු විස්සක් විතර ඇති. ඒත් මට අම්මට චීත්ත කෑල්ලක්වත් අරගෙන දෙන්න බැරිවුණා. මං කැම්පස් ගියේ යාළුවෙක් දුන්න කලිසමයි ෂර්ට් එකයි ඇඳගෙන. මම ඒ දෙක ආයෙමත් ගමට අරගෙන ආවා. මං ගමේ පාසලේ වගේම ගුරුකුඹුර ඉස්කෝලෙත් ඉගැන්නුවා. අපි දරුවන්ට උගන්නන්න ඕන විභාග පාස්කරන්නම නෙමෙයි. මේ මහපොළවේ පය ගහලා ජීවත්වෙන්නයි උගන්නන්න ඕන. අද මට මුදල් නැහැ. තත්වයක් නෑ. ලොකුකම් නැහැ. නමුත් මම පුදුමාකාර සැනසීමකින් ජීවත් වෙනවා.”

ගුරුකුඹුර විද්‍යාලයේ සේවය කළ දඹාණේ ගුණවර්ධන දැන් විශ්‍රාමිකය. ඔහු තවමත් විශ්‍රාම වැටුප හදාගැනීම සඳහා වෙහෙසෙන්නේය. ඉඳහිට පාසලට පැමිණෙන ඔහු එහි විදුහල්පති නාලක සැම්සන් කුමාර සමඟ සතුටු සාමීචියේ යෙදෙන්නේය. විටෙක තමන් අතින් ලියැවුණ ළමා ගීතයක් දරුවකුගේ හඩින් ගැයෙන විට ඔහු එයින් නිරාමිස සතුටක් විඳින්නේය.

පාසල නිමාවී අන්තිම දරුවා ද රැගෙන යෑමට වැඩිහිටියෙක් පැමිණියේය. දියණියට තනිවම ඇවිදීමට වාරු නැතිවා සේය. ඇය මධුභාග්‍යා. වයස අවුරුදු දහතුනයි.

”දුවට අවුරුදු පහක් විතර කාලේ තමයි එයාට නයෙක් දෂ්ට කළේ. දඹාන රෝහලෙන් එයාව මහියංගනයටත් පසුව පොලොන්නරුවටත් ගෙනිච්චා. ඒත් දුවව හොඳ කරගන්න බැරිවුණා. දුවට දැන් ටිකක් ඇවිදින්න පුළුවන්. මුලින් නම් රෝද පුටුවෙමයි ආවේ ගියේ. කොහොම හරි කරලා මම දුවට උගන්නන්නේ අපි නැති කාලෙක හරි එයාට අනාගතයක් තියේවි කියලා හිතලා.” මධුභාග්‍යාගේ පියා පවසන්නේ දෑසෙහි කඳුළු පුරවාගෙනය.

අන්තිම ළමයා ද යන්නට ගියේය. විදුහල්පතිවරයා සියලු පන්ති කාමර වසා දමා ගුරු නිවෙසට යන්නට පිටත් වූයේය. ගුරුවරියන් දෙදෙනා ද නිවෙස් බලා ගොස්ය. ආදිවාසී ගුරුවරයකු වන දයාරත්න මහතා ද නිවෙස බලා පිටත්ව යාමට සූදානමින්ය. ඔහු නිවසට යන්නේ ද පාසල නිමවී සියලුම ළමයින් පාසලෙන් නික්ම ගියාට පසුය. දයාරත්න වසර දොළහකට වඩා ගුරු සේවයේ යෙදේ. තවමත් උපගුරුවරයකු වන ඔහුගේ සේවය ස්ථිර කර නැත.

”ඉස්සර වගේ නෙමෙයි දැන් ගමට අලි වදිනවා. මේ දවස්වල අලි දෙතුන් දෙනෙක් ගම් වැදිලා තියෙනවා. ඊයේ පෙරේදා දවසක ඉස්කෝලේ බිත්ති තල්ලු කරන්න හදලා තිබුණා. හොඬවැලේ මඩපාරවල් බිත්තිවල වැදිලා තිබුණා. මේ ගොඩනැඟිලිත් අලියා කැඩුවොත් දරුවෝ තවත් අසරණ වෙනවා.”

විදුහල්පතිවරයා පවසන්නේ කනගාටුවෙනි. කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින විදුහල්පති නාලක ගුරුකුඹුර පාසලට පැමිණ මේ ගතවන්නේ හතරවැනි වසරයි. ඔහුගේ බිරියත් දැන් දඹානටම සින්න වූ හැඩය.

කෙමෙන් රාත්‍රිය එළැඹෙයි. මාදුරුඔය රක්ෂිතයේ එක් පැත්තකින් හිරු බැස යයි. කැදලි සොයා පියාසලන කුරුල්ලන් ගේ දසුන අමුතුම සිරියාවක් උසුලයි. රාත්‍රියේ සූර්ය බලශක්තියෙන් දැල්වෙන විදුලි බුබුළුවලින් ගුරු නිවස ආලෝකවත් වෙයි. එහෙත් හාත්පස තිත්ත කළුවරය. පරිසරය නුපුරුදු වූ අපට නම් එළියට බසින්නට ඇත්තේ බියකි. අඳුරට නෙත් යොමා නිහඬ පරිසරයට කන් යොමා සිටින විට ඈතින් ඇසෙන්නේ කොළ අතු බිඳෙන හඬයි. රාත්‍රි ගෙවා දැමූයේ හිතේ චකිතයක් ද සමඟිනි.

සර්ප විෂෙන් ආබාධිතවූ භාග්‍යා

අපි අරුණලු බිමට වැටෙන විට ගුරුකුඹුර පාසල දෙසට පියමැන්නෙමු. කැකුළන් කැකුළියන් තවමත් පාසලට පැමිණ නැති සේය. අවට ඇත්තේ උදෑසන හිරුඑළිය මුසු වූ මඳ අඳුරකි. විදුහල් භූමියේ තැනින් තැන මොනරුන් එකා දෙන්නාය. එහෙත් උන් අසලකටවත් යන්නට බැරිය. හීන් අඩි සද්දයටත් උහු පැන දුවති. අප උන්ට අයිති බිම ආක්‍රමණය කළා වැනිය.

වේලාව උදෑසන හතට පමණ ඇත. දරුවෝ කඩිසර ගමනින් පාසලට පැමිණෙති. අපි පළමු දරුවාගේ සිට අවසන් දරුවා දක්වාම ගැන්නෙමු. දරුවන් මුළු ගණන තිස්හතරකි. ගුරුවරියන් දෙදෙනෙකි. විදුහල්පතිවරයා ද සමඟ ගුරුවරුන් දෙදෙනෙකි.

”මේ පාසල පටන් අරගෙන තිබුණේ එක්දහස් නවසිය අසූදෙක අවුරුද්දේ. බාලාංශ පන්තියේ සිට පහ ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙනවා. පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය හතරක් ගත්ත දරුවෙක් හිටියා. ඒ වගේම අඩුම ලකුණු තිබුණේ හැටපහ. මේ ඉස්කෝලේ පටන් ගත්තම අවුරුද්දේ ළමයි හැත්තෑහතරක් ඉඳලා තියෙනවා. අද වෙනකොට දරුවෝ තිස්හතරයි ඉන්නේ. මේ ගමේ ඈයෝ බොහෝම ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙනවා. ළිප පත්තු කරන්න ගිනිපෙනෙල්ල ගේන්නත් යන්නේ එහා ගෙදරට. පාසලේ දී දරුවන්ට උදෑසන ආහාරය ලබාදෙනවා.

දරුවෝ ඒ නිසා නොවැරදීම පාසල් එනවා. මේ දවස්වල නම් තියෙන දැඩි පෑවිල්ල නිසා අපි දරුවන්ට සපත්තු දාන්න කියලා බලකරන්නේ නැහැ. දරුවෝ හරි අමාරුවෙන් පාසල් එන්නේ. පොතක් ඉවර වුණාම පොතක් ගන්න අමාරුයි. සමහර දරුවන්ගේ ගෙවල් ළඟටම විදුලිය ඇවිත් තියෙන්නේ. ඒත් මුදල් නැති කම නිසා විදුලිය ගන්න බැහැ. මේ මිනිස්සුන්ට මහ ලොකු රස්සාවල් නැහැ. සමහරු කැලේ ගෙඩි, ඒ කියන්නේ නෙල්ලි, කෝන් ගෙඩි අරගෙන පොළට යනවා. සමහරු මීපැණි, බඹර පැණි කඩන්න යනවා. මම හොඳටම දන්න දෙයක් තමයි සමහරු එකවේලයි කන්නේ. අපිට මේ ගම්මානයේ ගෙවන ජීවිතය දුෂ්කරයි තමයි. ඒත් මේ පුංචි පැටවුන් ගේ මුහුණවල් බලාගෙන දාලා යන්න ලෝභයි.”

උපගුරුවරයකු ලෙස දඹාන පාසලට පැමිණි නාලක දැන් එහි වැඩබලන විදුහල්පතිවරයාය. වසර කිහිපයක් ඔහු එහිම සේවය කළ ද විදුහල්පති තනතුරේ ස්ථිර කර නොමැත. ගුරුවරියන් ද ගුරුකුඹුර පාසලට පැමිණෙන්නේ නගරයේ නේවාසිකව සිටය. දඹානට පැමිණෙන බස්රථය නැතිදාට ඔවුන්ට එන්න වන්නේ ද පා ගමනිනි. ඒ දුර කිලෝමීටර හයකට වැඩිය. කැපවීමෙන්, අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිමින් කටුක දිවියක් ගෙවන මේ ගුරුවරුන් මෙලෙස කටයුතු කරන්නේ ආදිවාසී දරුවන්ට ඇති ඇල්ම බැල්ම නිසාය. මේ ගුරුවරුන්ගේ සිතුම් පැතුම් දඹානේ ගුණවර්ධන ලියුවේ මෙලෙසය. එය අද ගුරුකුඹුර විද්‍යාලයේ ගුරුගීතය වී පාසල් බිත්තියේ දැන්වීම් පුවරුවේ ලොකු අකුරින් ලියා එල්ලා ඇත.

ගුරු මණ්ඩලය සහ දඹාණේ ගුණවර්ධන

පුංචි පැටවුන් උදෙන් ඇවිදින්
අපෙන් ඉල්ලයි ජීවිතේ
සදා දෙන්නට අපට හැකිනම්
සුන්දරයි ගුරු ජීවිතේ

 

උතුම් මිනිසුන් වන්න දරුවන්
රැගෙන යා යුතු මාවතේ
මංමුලාවැල් මර උගුල් විස
කටුකොහොල් නැති තැන් නැතේ

 

වීරියෙන් සිහියෙන් පෙරට යන
ගමනකට සැරසෙන් පුතේ
සදා දෙන්නෙමු කෙලෙස හෝ මඟ
මැරී වැටුණත් හාමතේ”

දුෂ්කරයි කියා මේ දරුවන්ගේ ජීවිත ද අතරමඟ නතර නොකරන්නටයි මේ ගුරුවරුන්ගේ වෑයම. විදුහල්පති නාලක දරුවන් වෙනුවෙන් බොහෝ සුබසාධන කටයුතු ආරම්භ කර ඇත. මසකට වතාවක් පාසලේ දරුවන් එක්ව කොටබකිනියේ දී පොළක් පවත්වනු ලැබේ. එයින් ලැබෙන මුදල් දරුවන්ගේ නමින් මහජන බැංකුවේ තැන්පත් කැරේ. පොතපත පමණක් නොව දරුවන්ට යහගුණ දම් ඉගැන්වීම ද ඔවුන්ගේ අරමුණය. එමෙන්ම ආදිවාසී සිරිත් විරිත් රැකගැනීමට ද දරුවන් උනන්දු කරනු ලැබීම තවත් විශේෂත්වයකි.

ළමයින් වෙනුවෙන් ඉලුක් පැලක් සාදන දෙමව්පියෝ

පාසලට ඇත්තේ සීමිත සම්පත්ය. නගරයේ දරුවන්ට මෙන් මේ පුංචි පාසලේ දරුවන්ට පිහිනුම් තටාක, ශ්‍රවණාගාර හෝ ක්‍රීඩා උපකරණ ක්‍රීඩා කාමර නැත. එහෙත් ඔවුන්ට ද දේශනවලට සවන් දෙන්නට ගුරුදෙගුරු රැස්වීම්වලට සහභාගි වීමට පහසුකම් ඇත. ඒ තුරු සෙවණේ සිටුවා ඇති ලී කොට ආසන මත ඉඳගෙනය.

මේ කුඩා දරුවෝ ගමේ නගරයේ වෙනස හඳුනන්නේ නැත. එහෙත් ඔවුහු තමන් වෙනුවෙන් කැපවෙන ගුරුවරුන්ගේ ආදරය දයාව හොඳ හැටි හඳුනති. පහසුකම් තිබුණද නැත ද ඔවුහු පාසල් එන්නේ ඒ ආදරය දයාව කරුණාව සොයාගෙනය. පන්තිකාමරයේ දී පොතපතේ වැඩය. ඉන් බැහැර වූ විට ඔවුන් තමන්ටම ආවේණික වූ ගීත ගයා නටයි. දඟලයි.

මේ අහිංසක ආදිවාසී දරුවන්ගේ හඬ තවමත් දෙසවනේ රැව්දෙයි. පුංචි කැකුළියන් ගැයූ ඒ ගීතයේ ඇති සොඳුරු බව ඔවුන් තුළ ඇති දඟකාර බව සිහිකරන අතරේම සිත නැවත නැවත ඒ පරිසරයට අප කැන්දාගෙන යයි.

අම්මිලැ ඇත්තොගෙ කතා පොජ්ජ
අප්පිලැ ඇත්තොගෙ සිනාපොජ්ජ
මන්දෝකරන් ඔටා දමන
රන් කුරුලා කැකුලි

කැලෑ පොජ්ජේ ගෙඩි පොජ්ජක්
තිබෙව්වාම වස විෂ වෙයි
කැවිල්ලාන්නට නාකයි
හිත්ලාපන් කැකුලී

විශේෂ ස්තුතිය – මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ හා බදුල්ල සහකාර පොලිස් අධිකාරි ඊ. පීතිලකරත්න මහතාට.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: