Posted by: lrrp | September 22, 2009

ගම්දනව් කරා තොරතුරු තාක්ෂණය ගෙන යන්න පරිගණක විද්‍යාගාර 1000ක්

ඔරුවල කනිෂ්ඨ විද්‍යාලයට ලැබුණු නවීන පරිගණක මෙවලම්

තොරතුරු තාක්ෂණය කෙරෙහි කාගේත් ඇත්තේ විශාල නැඹුරුවකි. බොහෝ දෙනා පරිගණකය ඔස්සේ තොරතුරු සොයා දැනුම්වත් වෙති. තවත් බහුතරයක් විවිධ රැකියා සොයා ගැනීමේ තරගකාරිත්වය හමුවේ මේ තාක්ෂණික මෙවලම් හදාරන්නට පෙළඹෙති.

ඉංගි‍්‍රසි හා තොරතුරු තාක්ෂණ වසර ලෙස 2009 වර්ෂය ප්‍රකාශයට පත් කෙරුණේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ මේ පිබිදීම සමඟය. විශේෂයෙන්ම 9800 කට ආසන්න අපේ රටේ සියලුම පාසල් ආවරණය වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශය මඟින් විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීය. ඒ පාසල් දරුවා නව තාක්ෂණික දැනුමට නැඹුරු කරවීමේ අදිටනිනි.

මේ වන විට ජාතික පාසල්, ජනපි‍්‍රය පාසල්වලට පමණක් සීමා වූ තොරතුරු තාක්ෂණ දැනුම හා එම මෙවලම් හැදෑරීමේ අවකාශය ඉන් ඔබ්බට ගොස් ඉතා දුෂ්කර ගම්මානවල පිහිටි දුෂ්කර පාසල්වල සිසුන්ටත් අත්පත් කර දී ඇත.

අද කතා බහට ලක්කරන්නේ මේ සත් ක්‍රියාව පිළිබඳවයි. අධ්‍යාපන අමාත්‍යංශය එහි ද්විතියික අධ්‍යාපන නවීකරණ ඒකකයත් සමඟ එක්ව ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ලංකාව පුරා විවිධ ප්‍රදේශ නියෝජනය වන පරිදි තෝරා ගත් ඉතා දුෂ්තර පාසල් 1000 ක පරිගණක විද්‍යාගාර ස්ථාපිත කෙරෙයි.මෙහි පළමු පියවර මේ වන විට අවසානය කරා පැමිණ ඇත.

පළමු පියවරේදි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික්ක 23 ක පාසල් 500 ක පරිගණක විද්‍යාගාර ඉදිවෙයි. මේ යටතේ මාතර පාසල් 27 ක්ද, ගාල්ල පාසල් 30 ක්ද, ගම්පහ පාසල් 12 ක්ද, නුවර පාසල් 38 ක්ද, කළුතර පාසල් 17 ක්ද, යාපනය පාසල් 23 ක්ද ආදි වශයෙන් අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාර 500 ක් ඉදිකෙරෙයි.

මේ ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ ද්විතියික අධ්‍යාපන නවීකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ අනුර දිසානායක මහතායි.

මේ ව්‍යාපෘතියේදි විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ ගම්දනව් වලට තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීම කෙෙර්ය. තෝරාගත් පාසල්වල අලුතින් ගොඩනැගිලි ඉදිකිරීමේ සම්ප්‍රදායික ක්‍රමය පසෙක ලා එම පාසලේම ඇති භාවිතයට නොගන්නා පංති කාමරයක් ප්‍රතිසංස්කරණය කර නව විද්‍යාගාරය සකස් කෙරෙයි. මෙම ක්‍රමය නිසා පෙරට වඩා වැඩි වේගයෙන් නව විද්‍යාගාර ඉදිකිරීමට අවකාශ සැලසෙයි.

ද්විතියික අධ්‍යාපන
නවීකරණ ඒකකයේ අධ්‍යක්ෂ
අනුර දිසානායක

මේ සෑම පාසලකටම ලක්ෂ 3 බැගින් වන මූල්‍යාධාර සැපයෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙනි. ඒ මූල්‍යාධාර පංති කාමරයක් සුදුසු පරිදි පරිගණක විද්‍යාගාරයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා පමණි. පරිගණක විද්‍යාගාරය සඳහා ඇවැසි මූලික දේ විද්‍යාල ප්‍රධානීන් හා පාසල් සංවර්ධන සමිතිය මඟින් ඉදිකෙරෙන්නේ මේ මූල්‍යාධාරයෙනි. අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්‍ෂණය නිරතුරුවම මේ සඳහා යොමුවෙයි.

කෙටි බිත්ති සම්පූර්ණ බිත්ති බවට පත් කිරීමටත්, ආරක්ෂිත දොරටු, ජනෙල් මෙන්ම සිවිලිම් හා බිම් සකස් කර උචිත පරිදි විද්‍යාගාරයක් සෑම පාසලකටම මේ මුදල් යොදවා සකස් කළ හැකියි. පාසල් සතු මේ වැඩ කොටස නිමවන පරිදි ඔවුනොවුන්ට පරිගණක පරිත්‍යාග කෙරේ.

පරිගණක 4 සිට ප්‍රමාණය වැඩිවන පරිදි ලබාදීම් කෙරෙන අතර පරිගණක වලට අමතරව මුද්‍රණ යන්ත්‍ර, පරිගණක ජාලයන් ද ලබා දෙයි. මේ සෑම පරිගණකයක් ම වසර 5 ක නඩත්තුවක් සහිත වන අතර අධ්‍යාපන අමාත්‍යංශයෙන් වසර 2 ක් යනතුරු විදුලි බල වියදම සැපයෙයි. පාසලටම ස්වකීය ශක්තියෙන් විද්‍යාගාර නඩත්තු කළ හැකිවන පරිදි පසුබිම සැපයෙන තෙක් අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්‍ෂණය සැපයෙයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ මෙම සත් ක්‍රියාව තවත් ඇගැයීමට ලක් කෙරෙන්නේ මේ සෑම පාසලකම ගුරුවරු 20 කට ජාත්‍යන්තර පරිගණක මෙහෙයුම් බලපත්‍ර සහතික ලබාදීමට ශිෂ්‍යත්ව පුහුණුව ලබා දීමය.

ගුරුවරුන්ට පවා නිවැරැදි පුහුණුවීම් ලබාදීම මඟින් අධ්‍යාපන අමාත්‍යංශය උත්සහ කරන්නේ ඉදිරියේදී විෂයමාලා ඔස්සේ තවතවත් දරුවන්ට පරිගණක හැකියා ලබාදීමටයි. දැනටමත් සාමාන්‍ය පෙළ විෂය ධාරාවන්ට තොරතුරු තාක්ෂණ දැනුම ඇතුළත් කර හමාරයි.

මේ විෂය පංති කාමරයේ ඉගැන්වීමට නම් පාසලේ ඒ සඳහා අවශ්‍ය මෙවලම් තිබිය යුතුය. නමුත් පසුගිය කාලයේ බහුතරයක් පාසල් ශිෂ්‍යයන්ට මේ අවස්ථාව නොලැබුණි. විශේෂයෙන් ග්‍රාමීය දුෂ්කර පාසල් වලට මෙන්ම බහුතරයක් වූ පළාත් පාසල් වලටද මේ අවස්ථාව නොලැබුණේ අවශ්‍ය පහසුකම් නොමැතිකමිනි.

අද වනවිට මේ ශිෂ්‍යයන්ගේ ජීවිත තවත් අලුත්වී ඇත. නව ප්‍රබෝධයකින් පිරී ඇත. මෙතෙක් වැසී යාමට ආසන්නව තිබූ පාසල් නැවතත් පණ ගැන්වී ඇත. මේ නව ප්‍රබෝධය දැක ගන්නට අපි පසුගියදා මෙම නව විද්‍යාගාර පහසුකම් ලැබී තිබූ දුෂ්කර පාසල් දෙකකට ගියෙමු.

ඒ ඔරුවල කණිෂ්ඨ විද්‍යාලයට හා කඩුවෙල මුනිදාස කුමාරතුංග විද්‍යාලයටය.

ඔරුවල කණිෂ්ඨ විද්‍යාලය වූ කලී ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි දැනට ළමයින් 700 ක් පමණ අධ්‍යාපනය හදාරන පළාත් පාසලකි. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා දෙන්නට සිටින්නේ ගුරුවරු 31 දෙනෙකි.

මේ පාසලට අද පරිගණක විද්‍යාගාරයෙන් නව පණක් ලැබී ඇත. නියෝජ්‍ය විදුහල්පතිනි ඒ.එස්. විජේතුංග මහත්මිය පවසන්නේ නව පරිගණක විද්‍යාගාරය නිසා පාසලේත් ශිෂ්‍යයින් හා ගුරුවරුන් අතරත් නව ප්‍රබෝධයක් ඇතිවී ඇති බවකි. නගරයේ පාසල්වලට දිව ගිය දරුවෝ අද මේ පාසලට පැමිණෙති. දරුවන් අලුත් විෂයන් හදාරන්නට ද පෙළඹී සිටිති. විශේෂයෙන් ම සාමාන්‍ය පෙළ පංති වල දරුවන් ගෙන් බහුතරයක් අද තොරතුරු තාක්ෂණය විෂය හදාරන්නට පටන් ගෙන ඇත.

ඉදිරියේ ඔවුහු තවත් අපේක්ෂාවන් රැසක් මල්පල ගන්වන්නට සූදානමින් සිටිති. ඒ මෙතෙක් නොතිබූ උසස් පෙළ විෂය ධාරා ආරම්භ කරන්නටය.

මේ සියල්ලට පසුබිම නව පරිගණක විද්‍යාගාරය බව ඔවුහු පවසති. මේ පාසලේ දරුවන් මුලින්ම පරිගණකයක් දැක ඇත්තේ මීට වසර 5 කට පෙර එක්තරා පෞද්ගලික ආයතනයකින් පාසලට ලබා දුන් පරිගණකයෙනි. 2008 වසරදී අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කරන තෙක් දරුවන්ට පරිගණකයක් අතපත ගෑමේ හැකියාව නොලැබුණි.

ඉතා අඩු පහසුකම් යටතේ පවා මේ පාසලේ දරුවන් අද තොරතුරු තාක්ෂණ විෂය සාමාන්‍ය පෙළ විභාගය සඳහා හදාරති. අද ඔරුවල කනිෂ්ඨ විද්‍යාලයේ පරිගණක පුහුණු ආචාර්යවරිය වන ජී.එම්.ඩී. ජයරානි මහත්මිය මේ සියලු දරුවන් පුහුණු කරයි.

හොඳ පරිගණක විද්‍යාගාරයක් මේ කුඩා පාසල සතු ය. අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඔවුන්ට නවීන පරිගණක වලට අමතරව මුද්‍රණ යන්ත්‍ර 2 ක්ද අවශ්‍ය දැව පුටු මේස ආදි අවශ්‍යතා ද ලබා දී ඇත. මේ සියල්ල ද ජාල ගත කර ඇත.

සියයට 75 ක් පමණ ජීවත්වන අඩු ආදායම් ලාභි දරුවන් සිටින මෙවන් පළාත්වල දරුවන්ට ජනපි‍්‍රය පාසල් ඇත්තටම සිහිනයකි. මෙවන් දරුවන්ගේ එකම පාසල ගමේ පාසල යි. අඩුපාඩු මඟ හරවමින් මෙම පාසල් නඟා සිටුවීම ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමට ලැබෙන්නා වූ විශාල රුකුලකි.

තරමක නාගරික පිහිටියා වූ මුනිදාස කුමාරතුංග විදුහල ද මේ වන විට මෙතෙක් නොලැබූ ප්‍රබෝධයක් අත්පත් කරගෙන හමාරය. ළමයින් 1000 කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන මේ පාසලේ එකම අඩුව පැවැතියේ පරිගණක විද්‍යාගාරයයි. වසර 100 ක් ඉක්මවුණ ද මේ අඩුව සම්පූර්ණ වී අද දරුවන්ට නව මාවතක් විවර කර ඇත. සියවස සැමරීමේදී මේ දරුවන්ට එදා පරිගණකයක් ලැබුණ ද එය ගුරු කාර්යාලයට පමණක් සීමා විය.

සහකාර විදුහල්පති කැබිලියපොළ මනිරතන හිමි පවසන්නේ එදා මෙම පාසලේ කිසිම දරුවෙකුට නොලැබුණු වරප්‍රසාදයක් අද වන විට උරුම වී ඇති බවයි.

අද අංග සම්පූර්ණ විද්‍යාගාර භාරව ආචාරිනි එන්.ඩබ්ලිව්.එන්. සුරංගි මහත්මිය කටයුතු කරයි. පරිගණක 6 කට අමතරව ලේසර් මුද්‍රණ යන්ත්‍රයක් ද, ඩොට් මෙට්‍රික් මුද්‍රණ යන්ත්‍රයක් ද, අවශ්‍ය ද්‍රව්‍යමය උපකරණ ද ලැබී ඇත. අඩුපාඩු සපුරාලමින් වුව ද අනාගතය පිළිබඳ අලුත් බලාපොරොත්තු රැසක් අද මෙම දරුවන්ට උරුම ව ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේදී සැරැසෙන්නේ 2010 වන විට පාසල් 1500 කට පරිගණක දැනුමින් පෝෂණය කිරීමටය. මේ කාර්යයේදී සියලු දුෂ්කර පාසල් ආවරණය වන පරිදි පරිගණක දැනුමින් පෝෂණය කෙරෙයි.

1 ඒ ඕ, ම් හා 2 වන වර්ගයේ සියලුම පාසල් තොරතුරු තාක්ෂණ දැනුමින් පෝෂණය කිරීමට බලාපොරොත්තු වෙයි. එමඟින් පාසල් ජනගහනයෙන් සියයට 80 ක් ආවරණය කෙරේ. 2009 දී ආරම්භ කර ජනතාවට පරිගණක සාක්ෂරතාව ලබා දීමේ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස 2012 වන විට සමස්ත ජනගහණයෙන් සියයට 60 ක පිරිසකට පරිගණක සාක්ෂරතාව ලබා දීමේ ජාතික සැලැස්මකට යාම අරමුණයි.

මේ යටතේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන නැණසල වැඩ සටහන මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වන පරිගණක විද්‍යාගාර පිහිටුවීමේ වැඩ සටහන ඒකාබද්ධ කර “පාසලින් පසු නැණසල” යන තේමාව ඔස්සේ තොරතුරු තාක්ෂණ දැනුම සති අන්තවල ප්‍රජාව වෙත ලබාදීමට ද අපේක්ෂිතය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: