Posted by: lrrp | January 10, 2009

ජංගම දුරකතනයෙන් පුවත් ආක‍්‍රමණයක්

මුම්බායි නගරයේ සුප‍්‍රකට ටාජ් හෝටලය ත‍්‍රස්ත කල්ලියක් විසින් ග‍්‍රහණයට ගනු ලැබූයේ අනපේක්ෂිත මොහොතක ය. ත‍්‍රස්තවාදීහු හෝටලය මිහිපිට නරකාදියක් බවට පෙරළමින් සිටිය හ. බාහිර ලෝකයා මුලින් ම මේ බිහිසුණු පුවත දැන ගත්තේ තම ජංගම දුරකථනවලට ලැබුණු කෙටි පණිවිඩ (SMS) මඟිනි. දෙවනුව පිළිවෙළින් අන්තර්ජාලය, ගුවන් විදුලිය හා රූපවාහිනිය ඔස්සේ ද එම පුවත විකාශය කෙරිණ. එහෙත් මුද්‍රිත පුවත්පත්වලට මේ ආරංචිය හරි හැටි පළ කිරීමට හැකියාව ලැබුණේ තවත් පැය 24 කට පමණ පසුව ය.

මුම්බායි ත‍්‍රස්ත ප‍්‍රහාරය පමණක් නොව, අද ලොව කොතැන, කුමක් සිදු වුවද ඒ බව මුළින් ම දැන ගන්නේ ජංගම දුරකථන ග‍්‍රාහකයින් ය. වරෙක අපි හම්බන්තොට වෙරළ තීරයේ සංචාරයක යෙදී සිටියෙමු. ජංගම දුරකථනයට ලැබුණු කෙටි පණිවිඩයකින් කියැවුණේ සුමාත‍්‍රා මුහුදේ විශාල භූ චලනයක් සිදු වී ඇති බවත් එහි අගය රිච්ටර් මාපකයේ 7.9 ක් ලෙස දැක්වෙන බවත් ය. ආරංචිය ලද සැණින් අපේ හදවත් ගැහෙන්නට ගත්තේ භූ චලනයටත් නො දෙවැනි වේගයෙන් විය යුතු ය. එහෙත් ඒ තිගැස්ම පැවතියේ විනාඩි කිහිපයක් පමණි. සුමාත‍්‍රා මුහුදේ ප‍්‍රබල භූ චලනයක් ඇති වී තිබෙන මුත් එයින් ශී‍්‍ර ලංකාවට සුනාමි තත්ත්වයක් බල නොපාන බවත් ඊළඟට ලැබුණු කෙටි පණිවිඩයේ සඳහන් විය.

දුරකථනයකට අමතරව, ගුවන් විදුලිය, රූපවාහිනිය සහ අන්තර්ජාල පහසුකම් ද සහිත ජංගම දුරකථනය බහු මාධ්‍ය මෙවලමකි. ඊටත් මෙහි විශේෂත්වය ලෙස පෙනෙනුයේ සන්නිවේදන මෙවලමක් ලෙස එහි ඇති ද්විත්ව කි‍්‍රයාකාරීත්වය යි. වරෙක ග‍්‍රාහක මෙවලමක් වන ජංගම දුරකථනය තවත් වරෙක සන්නිවේදන මෙවලමක් බවට පරිවර්තනය වෙයි. තොරතුරු ලබා ගැනීම මෙන් ම පෙරළා තොරතුරු කියැවීමටත් ජංගම දුරකථනය පොහොසත් ය.

අකුරු පමණක් සහිත කෙටි පණිවිඩ, ඡායාරූප, හඬ සහ වීඩියෝ දර්ශන යැවීම පමණක් නොව සජීවි රූපවාහිනි කැමරාවක් ලෙස කි‍්‍රයා කිරීමට ද ජංගම දුරකථනයට හැකියාව තිබේ. අධි වේගය, පහසුව හා පිරිවැය යන සාධක සම්බන්ධයෙන් ගත් කළ ද ජංගම දුරකථනය සමඟ තරග වැදීමට අන් කිසිදු ජන සන්නිවේදන මාධ්‍යයක් සමත් නොවන බවත් කැපී පෙනෙයි. සාම්ප‍්‍රදායයික සන්නිවේදකයා සතුව මෙතෙක් පැවති බලය දිය වෙමින් යන හැටි පමණක් නොව ගතානුගතික සන්නිවේදක – ග‍්‍රාහක සම්බන්ධය ජංගම දුරකථනය හරහා නව මුහුණුවරකට පෙරළෙමින් තිබෙන සැටිත් දක්නට ලැබෙයි. සන්නිවේදන ක්‍ෂේත‍්‍රයෙහි හට ගත් මේ නිහඬ පෙරළිය හමුවේ පුවත්පත් කර්මාන්තයට එල්ල වී තිබෙන්නේ බැරෑරුම් අභියෝගයකි.පුවත්පතට පසුව පැමිණි ගුවන් විදුලිය හා රූපවාහිනිය වෙතින් දැඩි අභියෝගයක් එල්ල විය හැකි යැයි මුල දී අනාවැකි පළවු මුත් තම තැන රැක ගනිමින් පැවැත්ම සුරක්ෂිත කොට ගැනීමට පුවත්පත සමත් විය. එහෙත් අන්තර්ජාලය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමඟ ම සියලු ජන සන්නිවේදන මාධ්‍යයන්ට එල්ල කෙරුණේ දැඩි අභියෝගයකි.

මෙහිදීත් වැඩි ම පීඩනය එල්ල කෙරුණේ මුද්‍රිත පුවත්පතට ය. සොයා ගත් ප‍්‍රවෘත්තිය සැණින් ප‍්‍රචාරය කිරීමෙහිත්, ප‍්‍රවෘත්ති යාවත්කාලීන කිරීමෙහිදීත් මුද්‍රිත පුවත්පත පසු වන්නේ දුර්වල අඩියක ය. එහෙත් ඒ අභියෝගය ජය ගැනීමට පුවත්පත සමත් වූයේ ප‍්‍රතිවාදියා සමඟ තරග වැදීමට ඉදිරිපත් වීමෙන් නොව ප‍්‍රතිවාදියාගේ ම කර මත නැඟීමෙනි. මුද්‍රිත පුවත්පත එලෙසම පවත්වා ගෙන යන අතර පුවත්පත අන්තර් ජාලයට ඇතුළු කිරීම එකී උපායයයි.

මුද්‍රිත පුවත්පතේ නාමයෙන් ම වෙබ් අඩවි නිර්මාණය කොට ගත් අතර එමඟින් දේශ සීමා නොතකා ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වීමට ද පුවත්පතට හැකියාව ලැබිණ. එහෙත් මුද්‍රිත පුවත්පතට මේ සමඟ ම හිමි වන්නට ගත්තේ දෙවැනි තැනය. e newspaper සහ printed news paper අතර පවතින්නේ නොසැඳිය හැකි වෙනසකි. අනර්තජාලයේ විද්යුත් පුවත්පත් වෙබ් අඩවිය කොපමණ වාර ගණනක් වුව යාවත්කාලීන කළ හැකිය. විද්යුත් මාධ්‍ය විසින් අසහාය බලයක් පතුරුවා ගෙන සිටි සැණින් පුවත් (Breaking News) අධිකාර බලය බිඳ වැටිණ. විද්යුත් පුවත්පත ද ප‍්‍රවෘත්ති යාවත්කාලීන කරමින් සැණින් පුවත් විසුරුවා හැරීමේ බලය අතට ගත්තේ ය. එහෙත් මුද්‍රිත පුවත්පත අභියෝගාත්මක පීඩනයෙන් ගැලවුණේ ද යනු ප‍්‍රශ්නයකි.

කෙසේ වෙතත් දෛනික කාලීන සිදුවීම් ආශි‍්‍රත ප‍්‍රවෘත්ති තවදුරටත් මුද්‍රිත පුවත්පතක විෂය ක්‍ෂේත‍්‍රයට ඔබින්නේ ද යන ප‍්‍රශ්නය නම් දිගින් දිගටම මතු වනු දක්නට ලැබෙයි. මුද්‍රිත පුවත්පතක් පාඨකයා අතට ලැබෙනුයේ දිනකට වතාවක් හෙවත් පැය 24 කට වරක් ය. උදෑසන අතට ගන්නා පුවත්පතෙහි දකින්නට ලැබෙන්නේ පෙර දින සිදු වු සිද්ධීන් ආශි‍්‍රත ප‍්‍රවෘත්ති ය. විශේෂයෙන් ම දෛනික කාලීන සිදුවීම් ආශි‍්‍රතව ගතහොත් පුවත්පත මුද්‍රණයෙන් නිකුත් කෙරුණු පසු සිදුවන දෛනික කාලීන තොරතුරු ප‍්‍රවෘත්ති ලෙස පාඨකයා අතට පත් කිරීමට මුද්‍රිත පුවත්පතට ප‍්‍රයෝගික හැකියාවක් නැත.

එහෙත් ඒ සියලු දෛනික කාලීන පුවත් ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවය (SMS),අන්තර්ජාලය හා විද්යුත් මාධ්‍ය මඟින් මොහොතින් මොහොත ග‍්‍රාහකයා වෙත ලබා දෙයි. මුද්‍රිත පුවත්පතට කළ හැකිව තිබෙන්නේ පෙරදින අනෙකුත් ජන සන්නිවේදන මාධ්‍ය මඟින් ප‍්‍රචාරය කරන ලද පුවත් එලෙස ම ප‍්‍රතිරාවය කිරීමට හෝ වැඩිමනත් විස්තරයක් සහිතව පාඨකයා අතට පත් කිරීම පමණී. එහෙත් එකම තොරතුර දෙවරක් දැන ගන්නට ලැබීම පාඨකයා ගේ පැත්තෙන් ගත් කළ ප‍්‍රවෘත්ති සැපයීමක් ද යනුවෙන් තවත් ප‍්‍රශ්නයක් නැඟෙයි. කෙනෙකු මුල් වරට දැන ගත් ඕනෑම තොරතුරක් ප‍්‍රවෘත්තියක් ලෙස ගත හැකි යැයි යනුවෙන් ද ප‍්‍රවෘත්ති යන්න පුළුල්ව නිර්වචනය කෙරෙයි.

ඒ අනුව ප‍්‍රවෘත්තිය, ප‍්‍රවෘත්තියක් බවට පත් වන්නේ එය මුල් ම වරට දැන ගත්නා මොහොතේ දී පමණි. පෙර දින අනෙකුත් ජන සන්නිවේදන මාධ්‍ය මඟින් ප‍්‍රචාරය කෙරුණු ප‍්‍රවෘත්තියක් පසු දින පොල් ගෙඩි අකුරින් මුල් පිටුවේ ප‍්‍රධාන සිරස්තලය ලෙස යෙදීමට මුද්‍රිත පුවත්පත් උත්සුක වනමුත් එය තව දුරටත් ප‍්‍රවෘත්තියක් නොවේ යැයි පාඨකයන්ට සාධාරණ තර්කයක් ඉදිරිපත් කළ හැකිය.

උක්ත වාතාවරණය හමුවේ මුද්‍රිත පුවත්පත විවිධ උපාය මාර්ග සොයමින් සිටින බවත් දක්නට ලැබේ.

අන්තර්ජාල අභියෝගයට මුහුණ දීමට විද්යුත් පුවත්පත නිර්මාණය කළා සේ ම, ජංගම දුරකථන පණිවිඩ ප‍්‍රවෘත්ති සේවාවන් ගෙන් නැඟෙන අභියෝගය ජය ගැනීමට මෙවර යොදා ගෙන තිබෙන්නේ ද පෙර උපාය ම බැව් පෙනෙයි. එනම් තරග කිරීම නොව ප‍්‍රතිවාදියා ගේ කර මත නැඟීම ය. මුද්‍රිත පුවත්පතට ලැබෙන උණුසුම් පුවත් එසැණින් අන්තර්ජාලයේ විද්යුත් පුවත්පතට මුදා හරිනවාට අමතරව අද දකින්නට ලැබෙන්නේ පුවත්පත් ආයතන විසින් තොරතුරු සන්නිවේදනය කරනු ලැබීම සඳහා ඒ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාව ප‍්‍රයෝජනයට ගැනීමයි. අදාළ ප‍්‍රවෘත්තිය ජංගම දුරකථන වෙත නිකුත් කෙරෙන්නේ පුවත්පත් නාමය යටතේ ය. සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ Daily News පුවත්පත විසින් පවත්වා ගෙන යනු ලබන කෙටි පණිවිඩ පුවත් සේවාව ඒ සඳහා එක් නිදසුනකි.

ලෝක ප‍්‍රකට CNN පුවත් සේවය අන්තර්ජාතික ප‍්‍රවෘත්ති වෙළෙඳ්‍රම සියතට ගැනීම සඳහා ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාව වැළැඳ ගත්තේ මීට කාලයකට පෙරාතුව ය.

අද ඔවුන් ලොව පුරා ඉතාමත් සාර්ථක කෙටි පණිවිඩ පුවත් සේවයක් පවත්වාගෙන යන බවක් දක්නට ලැබෙයි. අසල්වැසි ඉන්දියාවේ NDTV පුවත් සේවය ද කෙටි පණිවිඩ පුවත් සේවය ඔස්සේ නැඟී සිටිමින් ලෝක ව්‍යාප්ත පුවත් සේවයක් බවට පත් වීමට වෙර දරයි. AP හෙවත් Associated Press යනු තවත් සුප‍්‍රකට හා ප‍්‍රබල අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවාවකි. ඉකුත් වසර අග භාගයේ දී ඔවුන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ජංගම දුරකථන ග‍්‍රාහකයන් ඉලක්ක කොට ගෙන ප‍්‍රවෘත්ති විසුරුවා හැරීමට 2009 වසරේ සිට කි‍්‍රයාත්මක වන බවයි.

අන්තර්ජාතික මාධ්‍ය ආයතන පුවත් අලෙවිය සඳහා ජංගම දුරකථනය හරහා තරග වදිමින් සිටින අතර අපි‍්‍රකානු මහාද්වීපයට ජංගම දුරකථනය ආශිර්වාදයක් වී ඇති අයුරුත් දක්නට ලැබේ. දකුණු අපි‍්‍රකාව ඒඩ්ස් නිවාරණය හා HIV ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය තොරතුරු බෙදා හැරීම හා තොරතුරු ලබා ගැනීමට ජංගම දුරකථන, කෙටි පණිවිඩ සේවය යොදා ගෙන තිබේ. තවත් අපි‍්‍රකානු රටවල ඈත දුෂ්කර ප‍්‍රදේශවල හට ගන්නා වසංගත රෝග, මන්ද පෝෂණය, වාර්ගික ගැටුම් යනාදි ගැටලු පිළිබඳ තොරතුරු ලබා ගෙන සැණෙකින් පිළියම් යෙදීම සඳහා ද ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවය භාවිතයට ගනිමින් සිටී.

ජංගම දුරකථනය ලොව අංක එකේ සන්නිවේදකයා ලෙස සමස්ත සන්නිවේදන ක්ෂේත‍්‍රයේ ම විප්ලවයකට මුල පුරමින් සිටිත් දී මුද්‍රිත පුවත්පත් කර්මාන්තයට හිමි වන්නේ කුමන ස්ථානයක් ද යනු මේ වන විට ජනමාධ්‍ය විශේෂඥයන් ගේ විමසුමට ලක්වෙමින් පවතින බවත් දක්නට ලැබේ.

අන්තර්ජාතික ප‍්‍රවෘත්ති හා සන්නිවේදන ක්ෂේත‍්‍රයේ සිදුවන නව ප‍්‍රවණතා පිළිබඳ සිදු කරන ලද සමීක්ෂණ කිහිපයක තොරතුරු ඉකුත් දා ප‍්‍රකාශයට පත් කොට තිබිණි. මේ අතර Digital trends.com වෙබ් අඩවිය, The Pew Research Center For The People & The Press ආයතනයෙන් සිදු කෙරුණු ලැබූ සමීක්ෂණ වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් කොට තිබුණේ ප‍්‍රවෘත්ති දැන ගැනීම සඳහා බොහෝ දෙනා පුවත්පතට වඩා යොමුව සිටින්නේ අන්තර්ජාලයට බවයි. අන්තර්ජාලය පරිහරණය කරන තරුණ ජනගහණයෙන් 59% ක් පමණ ප‍්‍රවෘත්ති දැන ගනු ලබන්නේ අන්තර්ජාලය ඔස්සේ බව ද එමඟින් අනාවරණය කොට තිබිණ.

මේ සමඟ ම අපට දක්නට ලැබෙන්නේ මුද්‍රිත පුවත්පත ද දෛනික කාලීන සිදුවීම් ආශි‍්‍රත ප‍්‍රවෘත්ති පළ කිරීම වෙනුවට විවිධ ක්ෂේත‍්‍රයන් ඔස්සේ ගවේෂණාත්මක ප‍්‍රවෘත්ති හා විශේෂාංග ඉදිරිපත් කිරීමේ ප‍්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි.

2009 වසරේ මැද භාගය වන විට මුද්‍රිත පුවත්පත් වෙතින් නව ප‍්‍රවෘත්ති පෙළ ගැස්මක් දකින්නට ලැබිය හැකි බවටත් ඇතැම් ජනමාධ්‍ය විශේෂඥයන් අනාවැකි පළ කොට තිබෙනු ද දක්නට ලැබේ. මේ අලුත් ප‍්‍රවණතාවන් ගෙන් මිදී සිටීමට අන් අයට මෙන් ම අපට ද නොහැකි වනු ඇති බවට විවාදයක් නැත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: